ආර්ථික අර්බුදය හමුවේ උග්‍ර වන වෙළෙඳ යුද්ධය

කොවිඩ්-19 වසංගතය පැතිර යාමත් සමග ලෝකයේ බොහෝ රටවල දෛනික කටයුතු සියල්ලක්ම පාහේ අඩපණ විය. විශේෂයෙන් නිෂ්පාදන සහ සේවා කටයුතු ඇනහිටි අතර එමගින් ආර්ථික ක්‍රියාවලිය සැලකිය යුතු ප්‍රමාණයකින් අකර්මණ්‍ය විය. ලෝක පරිමාණයෙන් ඇති වූ මෙම තත්ත්වයත් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගෝලීය ආර්ථිකයේ හැකිළීම පිළිබඳ පුරෝකථනයන් කිහිපයක් සිදු කර තිබේ. ඔවුන් මීට පෙර කළ පුරෝකථනය යාවත්කාලීන කරමින් සඳහන් කර තිබුනේ 2020 අවසන් වන විට ගෝලීය ආර්ථිකය 4.9%කින් හැකිළී යනු ඇති බවයි. එය අප්‍රේල් මාසයේ ඔවුන් කළ පුරෝකථනයට වඩා සියයට 1.9ක වැඩි වීමකි. එසේම කොවිඞ්-19 වසංගතයේ ක්‍රියාකාරිත්වය අපේක්ෂා කළාට වඩා අහිතකර ලෙස බලපා ඇති බවත් ප්‍රකෘතිමත් වීම කලින් පුරෝකථනය කළාට වඩා අඩු වේගයකින් සිදුවනු ඇති බවත්, ඔවුන් පෙන්වා දෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන අනුව බොහෝ රටවල 2021දී දළ දේශීය නිෂ්පාදිතය පූර්ව වසංගත තත්ත්වයට වඩා 6.5%කින් අඩු වනු ඇත.

එසේම රටවල් කිහිපයක් හැරුණු විට කොවිඞ්-19 වෛරසයේ බලපෑම මත සිදු වූ ආර්ථික පසුබෑම බලාපොරොත්තු වූවාට වඩා දරුණු වූ අතර ඉදිරි මාස කිහිපය තුළ එම දර්ශකයන් ඊටත් වඩා දැඩි හැකිළීමක් පෙන්නුම් කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළකර තිබේ. වසංගතය පැතිර යාම වැලැක්වීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස බොහෝ සමාගම් වලට ආර්ථික කටයුතු නවතා දැමීමට සිදුවූ අතර එමගින් සිදු වූ ව්‍යාපාරයන්ගේ, වෙළඳපොළවල වේගවත් බිඳවැටීම, සැපයුම් ජාලයන් අවහිර වීම සහ අනාගත ඉපැයීම් පිළිබඳ අවිනිශ්චිතතාවන් නිසා ආයෝජන කපා හැරීම මඟින් මෙම තත්ත්වය තවත් උග්‍ර කර තිබේ.

ආර්ථික කටයුතුවල මෙම පහත වැටීම, ගෝලීය ශ්‍රම වෙළඳපොළට ද විශාල බලපෑමක් එල්ල කිරීමට සමත් වී තිබේ. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඇස්තමේන්තු උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මේ වන විට සිදුව තිබෙන වැඩ කරන පැය ගණන පහත වැටීම, රැකියා මිලියන 130ක් අහිමිවීමට සමාන යයි පවසා ඇත. ඉදිරියේදී එම පහත වැටීම රැකියා මිලියන 300කට සමාන වනු ඇතැයි ද ඔවුන් අපේක්ෂා කරති. මෙසේ ශ්‍රම වෙළඳපොළේ බිඳවැටීම ප්‍රබල ලෙස දැනෙන්නේ, විකල්පයක් ලෙස නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් නැති, අඩු නිපුණතා සහිත ශ්‍රමිකයන්ටය. ඒ අනුව ලොව පුරා අවිධිමත් ලෙස සේවයේ යොදවා ඇති බිලියන 2කට ආසන්න කම්කරුවන්ගෙන් 80%කට ආසන්න සංඛ්‍යාවක් මේ නිසා පීඩාවට පත්වනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවයි. ඒ අනුව ඉදිරියේදී ලොව පුරා ඇති අඩු ආදායම්ලාභී පවුල් කෙරෙහි වසංගතය මඟින් ඇති කරනු ලැබූ, තවමත් කෙරෙමින් තිබෙන සෘනාත්මක බලපෑම ඉදිරියේදී ආර්ථික අසමානතාවය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හේතුවක් විය හැකිය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව ලෝක ආර්ථිකයේ වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටින රටවල් ද මේ වසරේදී සියයට 8කට වැඩි ප්‍රමාණයකින් ආර්ථික කඩාවැටීමකට ලක්විය හැකිය. ඒ අනුව එක්සත් ජනපද ආර්ථිකය 8%ක, ජපානය 5.8%ක, එක්සත් රාජධානිය 10.2%ක, ජර්මනිය 7.8%ක, ප්‍රංශය 12.5%ක, ඉතාලිය හා ස්පාඤ්ඤය 12.8%ක ප්‍රමාණයන්ගෙන් හැකිළෙනු ඇති බවට ඔවුන් පුරෝකථනය කර තිබේ. එසේම මේ වන විට ප්‍රධාන ආසාදන කලාපයක් වන ලතින් ඇමෙරිකාවේ ආර්ථික බලපෑම විශේෂයෙන් දැඩි වන අතර, එහි විශාලතම ආර්ථිකයන් දෙක වන බ්‍රසීලයේ සහ මෙක්සිකෝවේ ආර්ථිකයන්, පිළිවෙළින් 9.1%ක සහ 10.5%ක පමණ ප්‍රමාණයකින් හැකිළෙනු ඇතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.

මෙසේ ලෝක පරිමාණයෙන් ඇති වෙමින් තිබෙන ආර්ථික අර්බුදය ඉක්මනින්ම විසඳා ගත යුතු තත්ත්වයක් වුවද, එවැනි විසඳුමක් මතුවීමේ තත්ත්වයක් තවමත් පෙනෙන්නට නොමැත. ඒ වෙනුවට වසංගතය අතරතුර ට්‍රම්ප් පරිපාලනය, චීනයට එරෙහිව වාචික ප්‍රහාර වේගවත් කර ඇති අතර, චීන සමාගම් මත පීඩනය දැඩි කිරීමට පියවර ගෙන තිබේ. එපමණක් නොව, වෙළඳ යුද්ධයේ පියවර පුළුල් වෙමින් පවතී. ගූගල් සහ ෆේස්බුක් වැනි එක්සත් ජනපද අධි තාක්ෂණික සමාගම් විසින් තම රටවලදී උපයන ආදායම මත ඩිජිටල් බද්දක් පැනවීමට ගත් පියවර පිළිබඳ ගැටුම නිරාකරණය කිරීම සඳහා ප්‍රංශය සහ අනෙකුත් යුරෝපීය බලවතුන් සමඟ කළ සාකච්ඡාවලින් ද එක්සත් ජනපදය ඉවත් වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

2 × 3 =