ආණ්ඩුව ඉල්ලන බලය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූ පසු ජනාධිපති කොමිෂන් කිහිපයක් පිහිටුවා තිබේ. ඉන් එකක් වන්නේ ‘2015 ජනවාරි 08 දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් 16 දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදුව ඇති බව කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවයි’. මෙම කොමිසම වෙත පැමිණ ඇවන්ගාඞ් සමාගමේ හිමිකරු වන නිශ්ශංක සේනාධිපති පැමිණිල්ලක් ඉදිරිපත් කළේ ය. ඒ තමා සභාපතිත්වය දරන ඇවන්ගාඞ් සමාගම රජයට පවරා ගැනීම හේතුවෙන් තමාට අලාභ සිදු වූ බව පවසමිනි. ඇවන්ගාඞ් සමාගම පෞද්ගලික ආයතනයකි. එහි හිමිකරු වන නිශ්ශංක සේනාධිපති යනු රජයේ නිලධාරියෙක් නොවේ. රාජ්‍ය සංස්ථා සේවකයෙක් හෝ සන්නද්ධ හමුදාවල හෝ පොලිස් සේවයේ අයකු හෝ නොවේ. ඒ අනුව මෙම කරුණට අදාළව ගැටලු කිහිපයක්ම මතු වෙයි.

පළමු කරුණ වන්නේ මෙම ජනාධිපති කොමිසමේ විෂයපථය අනුව නිශ්ශංක සේනාධිපතිට මෙම කොමිසමට පැමිණිලි ඉදිරිපත් කිරීමට නොහැකි ය. එහෙත්, ඔහු විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

දෙවැනි කරුණ වන්නේ ජනාධිපති කොමිසමට මෙම පැමිණිල්ල භාර ගැනීමට හැකියාවක් නොමැති වීමයි. එහෙත්, කොමිසම මෙම පැමිණිල්ල භාරගෙන තිබේ. එයින් නොනැවැතී කොමිසම මඟින් පැමිණිල්ලෙන් වගඋත්තරකරුවන් කර සිටින පිරිස් ගෙන්වා සාක්ෂි විමසීම් ආරම්භ කර තිබේ.

තෙවැනි කරුණ වන්නේ නිශ්ශංක සේනාධිපති යනු බරපතළ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණයේ විභාග වන නඩුවක චූදිතයකු වීමයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කළ බරපතළ වංචා දූෂණ පිළිබඳව ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි අනුව විමර්ශනයක් සිදු කර නිශ්ශංක සේනාධිපති හා ඔහුගේ සමාගමත්, රක්නා ලංකා සමාගමත් සාවද්‍ය පරිහරණය යටතේ සිදු කර තිබෙන වැරැදි අනාවරණය කරගෙන ඇත. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කර තිබේ. මෙසේ හෙළි කර ගත් කරුණු මත පදනම්ව නිශ්ශංක සේනාධිපතිට හා එම ක්‍රියාවලිය හා සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයාගේ ද උපදෙස් අනුව නඩු පවරා තිබේ.

සිව්වැන්න වන්නේ මේ කොමිසම විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥයකුට කොමිසම ඉදිරියේ පෙනී
සිටින ලෙස කොමිසම විසින් කළ නොතීසි නිකුත් කිරීම බරපතළ ලෙස දෝෂ දර්ශනයට ලක් කරමින් නීතිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කිරීමයි. නීතිපතිවරයා කරුණු දක්වා තිබුණේ, කොමිසමට මේ සඳහා කිසිදු බලයක් නොමැති බවත්, නිශ්ශංක සේනාධිපති අධිකරණයේ විභාග වන නඩුවක චූදිත පුද්ගලයකු බවත්, මෙමඟින් ඔහු තමාට එරෙහිව විමර්ශන සිදු කරන නිලධාරීන් බියවැද්දීමට තැත් කර තිබෙන බවත්, එසේම මෙය නීතිපති දෙපාර්තමේන්තුවේ කීර්ති නාමයට හානි කිරීමට සිදු කළ ක්‍රියාවක් බවත් ආදී වශයෙන් ය. තව දුරටත් කරුණු දක්වමින් නීතිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ කොමිසමේ මෙම ක්‍රියාව අත්තනෝමතික ලෙස අධිකරණයට අතපෙවීමක් බවය.

මෙම පැමිණිල්ලෙන් පරීක්ෂණ නිලධාරීන්, දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු 17 දෙනකු වෙත චෝදනා එල්ල කර තිබූ අතර, ඒ අනුව කරුණු විමසීම සඳහා ඔවුන් කැඳවමින් තිබේ. මෙම පැමිණිල්ල අනුව පෙනී යන ප්‍රධාන කරුණක් වන්නේ මේ ප්‍රශ්නය හමුවේ ආණ්ඩුව පෙනී සිටින්නේ දූෂිත හොරුන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ද නැතහොත් දූෂිතයන් හෙළිදරවු කිරීමට අරගල කරන දූෂණ විරෝධීන්ගේ පාර්ශ්වය වෙනුවෙන් ද යන්නයි. ඒ අතර නීති විරෝධීව ගිනි අවි තබා ගැනීම මෙන්ම රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි කිරීම ආදී අක්‍රමිකතා රැසක් සම්බන්ධ චූදිතයකු වී සිටින නිශ්ශංක සේනාධිපති රාජ්‍ය අනුග්‍රහය ලබන මාධ්‍ය වෙත ගෙන්වමින් වහසි බස් ඇදබෑමට පුළුල්ව ඉඩකඩ සලසා දී තිබේ. ඔහු පවසන්නේ ඔහුට විරුද්ධව දූෂණ චෝදනා එල්ල කර ඇති ප්‍රධාන පාර්ශ්වය වන ජාතික ජන බලවේගය මෙම මහ මැතිවරණයෙන් පරාජය කිරීම සඳහා රුපියල් මිලියන ගණනක් වියදම් කරන බවයි.

ආණ්ඩුව මහ මැතිවරණයේ දී ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ තමන්ට තුනෙන් දෙකක බලයක් දෙන ලෙස ය. ඒ කුමක් සඳහා ද යන්න විමසිල්ලෙන් සොයාබැලීම වැදගත් ය. කෙසේ නමුත්, මේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ආණ්ඩු පාර්ශ්වයට කිසිසේත්ම තුනෙන් දෙකක බලයක් හිමි නොවන බව පැහැදිලි ය. ඒ සඳහා මැතිවරණයෙන් පසු එජාපය හෝ සමගි ජන බලවේගය යන පාර්ශ්වවලින් පිරිස් බිලි බා ගැනීම ආණ්ඩු පාර්ශ්වයේ අරමුණයි.

තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වන්නේ ආණ්ඩුවට අභිමත පරිදි අණපනත් සම්මත කර ගැනීමට ය. කැමැති කැමැති පරිදි නීති පනවා ගැනීමට ය. අපේ රටේ මෑත ඉතිහාසය ගත් විට තුනෙන් දෙකේ බලය ලබා ගත් ආණ්ඩුවල කෙරුවාව හා පසුව ජනතාවගේ පැත්තෙන් ඒවාට ලබා දුන් ප්‍රතිචාර මොනවා දැයි සිහිපත් කළ හැකි ය.

1970දී සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත් වූයේ තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගෙන ය. ඒ ආණ්ඩුවේ නායකයන්ගේ ක්‍රියාකලාපයට ජනතාව ප්‍රතිචාර දැක්වූයේ 1977 මැතිවරණයේ දී ශ්‍රීලනිපය ආසන 08ට බස්සවමිනි.

එයින් සිදු වූයේ එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් හිමි වීමයි. එම බලය යොදාගෙන එජාප නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන සිදු කළේ විධායක ජනාධිපති ධුරයක් ඇති කර ගැනීමයි. තමාට කළ නොහැක්කේ පිරිමියකු ගැහැනියක බවට පත් කිරීමත්, ගැහැනියක් පිරිමියකු බවට පත් කිරීමත් පමණක් බවට ජේ.ආර්. පම්පෝරි ගැසුවේ ඒ බලයේ තරම ප්‍රදර්ශනය කරමින් ය. එතැන් පටන් එජාප පාලන කාලය තුළ සිදු වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතික ක්‍රියාවන් සියල්ලට බලය ලබා දුන්නේ එවකට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවට හිමිව තිබූ එම හයෙන් පහේ බලයයි. විශාල තරුණ සංහාරයක් දියත් වූ ’88-89 කාලපරිච්ඡේදය එහි තව ප්‍රතිඵලයක් විය. එසේම වසර 30ක් දිග්ගැස්සුණු උතුරේ යුද්ධය ද එහිම අනෙක් බිහිසුණු ප්‍රතිඵලයයි.
ඉන් පසු තුනෙන් දෙකක බලයක් හිමි කර ගත් මහින්ද රාජපක්ෂ පාලනය තුළ ද සිදු වූ අත්තනෝමතික ක්‍රියාකලාපය රට බරපතළ අගාධයකට ගෙන ගියේ ය. රාජපක්ෂ පවුල අතට සෑම බලයක්ම තහවුරු කරගනු ලැබී ය. නීතිය රාජපක්ෂ පවුලේ රූකඩයක් බවට පත් විය. වංචා, දූෂණ ඉහවහා ගියේ ය. විරුද්ධවාදීන්ට එරෙහි ප්‍රහාර දියත් විය. අතුරුදන් වීම් එකපෙළට සිදු වන්නට විය. බලය අසීමිත ලෙස දිගු කර ගැනීම සඳහා නීති පනවන්නට විය. මෙම ක්‍රියාවලිය කෙළවර වූයේ විශාල ජනතා විරෝධයක් එල්ල වීමෙන් පසු ආණ්ඩුව ඇතුළතින් ම පුපුරා යාමෙනි. ඒ අනුව 2015 ජනාධිපතිවරණයෙන් රාජපක්ෂවරුන්ට විශාල පරාජයක් උරුම විය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ලක්ෂ 69ක ජනවරමක් ලබා ගත්ත ද, ගෙවුණු මාස කීපය තුළ ජනාධිපතිවරණයේ දී ලබා දුන් බොහෝ පොරොන්දු ව්‍යාජයන් බවට පත්ව ඇති නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ වැටී තිබේ. ආණ්ඩුව ගමන් කරන්නේ පැරණි ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත හා පවුල්වාදී මාවතේම බව දැනටමත් තහවුරු කර අවසන් ය. දේශපාලන පළිගැනීම් පිළිබඳ විමසීමට පත් කර ඇති කොමිසමේ අත්තනෝමතික ක්‍රියාවලියෙන් ම ජනාධිපතිවරයාගේත්, ආණ්ඩුවේත් පිළිවෙත තවත් පැහැදිලි වී තිබේ. ඒ නිසා ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අවශ්‍ය වී ඇත්තේ දූෂිතයන් රකින ජනතා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී, එමෙන්ම අධිරාජ්‍යවාදීන්ට රටත් ජනතාවත් බිලි දීමේ මාවතේම ගෙන යාමට ය. අනෙක් පසින් ඊට එරෙහි වන ජනතා විරෝධතා මැඬලීමට අවශ්‍ය බලය තහවුරු කර ගැනීමට ය.
ඒ නිසා මේ මැතිවරණය රටටත්, ජනතාවටත් තීරණාත්මක වන්නේ මේ හේතු නිසා ය. පාර්ලිමේන්තුව තුළ ජනතාව පාවා නොදෙන සැබෑ ජනතා නියෝජනයක් තහවුරු කළ යුත්තේ ඒ නිසා ය.

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

10 − seven =