ආයිබොවන්ඩ මහින්දානන්ද,

 

මේ වතාවෙ ඉලැක්සොන් එකේදි තමුන්නැහැගෙයි, කරුණා අම්මාන් මහත්තයගෙයි දෙන්නගෙම ප්‍රොචාරක වැඩ බාර දීල තියෙන්නෙ එකම කොම්පැනියකට කියල ආරංචියි. රටම අවුළුවන්න පුළුවන් මොකක් හරි පොරකාසනයක් කොරවලා පීචං පොලිටික්කො ලොකු පොරවල් බවට පත් කොරන එක තමා ඔය කියන ඇඞ්වටයිසින් ඔස්තාර්ලගෙ අලුත්ම උපක්කරමය. බාගෙ වෙලාවට ඡන්දෙ තවත් කිට්ටු වෙනකොට මහින්දානන්දවයි, කරුණා මහත්තයවයි අත්අඩංගුවට ගන්ඩ වුණත් බැරි නැහැ. මොකද? ඔය වගේ ප්‍රොචාරක වියාපුරුතිවලින් අන්තිමට සිද්ද වෙන්නෙ කන්ඩ හිතුණහම කබරගොයත් තලගොයා කිරීමේ සෙප්පඩ විජ්ජාව හින්දයි.
හැබැයි ආයිබොවන්ඩ එකම තුරුම්පුව දිගටම ගහන්ඩ ගියහම වැඬේ අබිලික් වෙන බවත් අහල-දැකල ඇති නෙ. ඒ වගේම නරක වෙලාව ආපුවහම මෝල්ගහත් පත්තු වෙනව කියල කියමනකුත් තියෙනව නෙ. 2011 අවුරුද්දෙ ලෝක කිරිකොට් කප්පෙක වික්කය කියන තමුන්නැහැගෙ මහා හෙළිදරව්ව දැන් නිකන් පුස් වෙඩිල්ලක් ගාණට වැටිල නේද සෑර්…? මහින්දානන්ද ඡන්ද ටිකක් එකතු කොරගන්ඩ මාද්දිය සංදර්සනයක් පටන් අරන් කියල සංගා-මහේල හා අරවින්ද වගේ ලෝක පුරසිද්ද කිරිකට් කප්පිත්තො දාපු බවුන්සරෙන් මුන්නැහැ නිකංම බ්ලාස් වෙලා ගියා කියලයි කිරිකොට් ෆෑන්ස්ල නං කියන්නෙ.

ඒ අව්අස්සෙ මහින්ද මහා රජ්ජුරුවො ඊයෙ පෙරේදා දාපු කෝචොක් පාරෙනුත් ඔහේට ලොකු අවාසියක් වෙන එක සිකුරුයි. මහවැලි රීච් බාර් එකේ දිලුම් ගොයියත් එක්ක මොකක්දෝ හුටපටයක් කොරගෙන ඉන්න වෙලාවෙ මහරජ්ජුරුවොත් අර වගේ කතාවක් කියපු එක නං අන්තිම නරකයි. ඔය කිරිකොට් පුරස්න, නැත්තන් කරුණාගෙ කියුන් අල්ලගෙන දඟලනවට වඩා මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ රට, ජාතිය, ආගම, සඟිස්කුරුතිය අනතුරේ හෙළන විදෙස් කුමන්තරණ පරද්දන එක ය කියලයි එතුමා බොහොම බැරෑරුම් විදිහට දෙසාබාලා තිබුණෙ. මේ විදිහට බලන කොට මහින්දානන්ද උන්නැහැ අදට වඩා කෙරුමෙක් වෙලා උන්නු ක්‍රීඩා ඇමති තානාන්තරේ දරපු කාලෙ සිද්ද වුණා ය කියන ලෝක වංචාවක් ගැන අවුරුදු දහයකට විතර පස්සෙ සිහිපත් වෙච්ච එකත් බූමරංගයක් වෙලා ආපහු මුන්නැහැගෙ බෙල්ලටම කැරකිල එයි ද කියන්ඩත් බැහැ නේ ද?

ඔය ජාතියෙ ඉන්ටර්නැෂනල් ගේම් ගහන්ඩ යන්නෙ නැතුව අර කුරුණෑගල ලොක්කා ජොනී වගේ පොඩි බයිල පාරක් දැම්ම නං ලේසියෙන්ම ඔයිට වඩා සෑහෙන ලකුණු ටිකක් රැස් කොරගන්ඩ තිබුණ නෙ ආයිබොවන්ඩ. රාජපක්ස පවුල කියන්නෙ රටේ මුරදේවතාවන් ය කියල නිකමට වගේ ජොනී වාදනය කරපු පරණ තැටියක් මේ දවස්වල නැගල යනවා. ඒ අතින් බලන කොට ජොනීල ඉන්නෙ මහින්දානන්දලාට වඩා ගව් ගාණක් ඉස්සරහය කියලයි රාජපක්ස සමාගමේ අබ්බියන්තර තොරතුරු මාර්ගවලින් දැනගන්ඩ ලැබෙන්නෙ. ඔයින් මෙයින් අවුරුදු දෙක තුනකට කලින් ඇදිච්ච ක්‍රීඩා බාණ්ඩ කේස්එක වගේ අනවස්සිය පුරස්නයක් වුණත් මේ දවස්වල නිතරම පවත්තන මාද්දිය සංදර්සනයකදි කටකහන මාද්දියවේදියෙක් අහන්ඩ බැරි නැහැ මහත්තයෝ.

හයේ හතරෙ ෂොට් දෙන්ඩ පාරම්බාලා බැට් එක අතට ගත්ත නං ලකුණු රැස් කර ගන්න එක තමා දැන් ඉතිං කොරන්ඩ තියෙන්නෙ මහත්තයො. හැබැයි සෑර් විකට් එක රැකගැනිල්ල ස්කෝර් එකට වඩා වැදගත් බවත් අමතක කොරන්ඩ එපා.

විශ්වමිත්‍ර

Leave A Reply

Your email address will not be published.

three + 1 =