DFCC බැංකුවෙන් ‘DFCC Chatz’

ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘DFCC Chatz’ චැට්බොට් සේවාව හඳුන්වා දීමට DFCC බැංකුව පසුගිය දා කටයුතු කළේය. අන්තර්-ක්‍රියාකාරී, බහුනාළිකා සේවාවක් වන මෙය, ඉතාමත් කාර්යක්ෂම ලෙස ගනුදෙනුකරුවන්ගේ විමසීම්වලට පිළිතුරු දීමට හැකි වන ආකාරයට සැලසුම් කර තිබේ. දැනට පවතින දියුණුතම කෘත්‍රිම බුද්ධි තාක්ෂණයක් වන, ස්වාභාවික භාෂා හැකියාවන් සහිත wit/ai තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය කර ඇති මෙය, DFCC බැංකුවේ වෙබ් අඩවිය මෙන් Facebook, Messenger සහ Viber ඔස්සේ ද ක්‍රියාත්මක වනු ඇත. ගනුදෙනුකරුවන්ගේ විමසීම්වල ස්වභාවය අනුව නිසි පිළිතුරු ලබා දීමේ හැකියාව සහිත මෙම සේවාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වේ.

මෙම සේවාව ඔස්සේ පිළිතුරු සැපයීමට නොහැකි වන සංකීර්ණ විමසීම් පැය 24 පුරා ක්‍රියාත්මක DFCC ඇමතුම් මධ්‍යස්ථානයේ නියෝජිතයකු වෙත යොමු වනු ඇත. කවදත් ගනුදෙනුකරුවන්ගේ පහසුවට මුල්තැන දෙන DFCC බැංකුව, සිය සේවාවන්ට අදාළ විවිධ ක්‍රියාවලි සම්බන්ධයෙන් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පැහැදිලි හා සුහදශීලී මඟපෙන්වීමක් ලබා දීම සඳහා පියවර ගෙන තිබේ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය. “අප ජීවත් වන්නේ තාක්ෂණය වේගයෙන් දියුණු වන ලෝකයකයි. වඩාත් විශිෂ්ට සේවාවක් සලසමින් පාරිභෝගික තෘප්තිය වැඩිදියුණු කිරීම සඳහා එම තාක්ෂණයන්ට අනුගත වෙමින් නව හඳුන්වා දීම් සිදු කළ යුතු බවත්, එය අපගේ වගකීමක් බවත් අප විශ්වාස කරනවා. ‘DFCC Chatz’ චැට්බොට් සේවාව මඟින් ගනුදෙනුකරුවන්ට වඩාත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමටත්, ක්ෂණිකව ඔවුන්ගේ විමසීම්වලට පිළිතුරු ලබා දීමටත් අපට හැකියාව ලැබෙනවා. එමෙන්ම තමන් කැමැති මාධ්‍යයක් ඔස්සේ DFCC බැංකුව සමඟ සම්බන්ධ වෙමින් තමන්ට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට මෙමඟින් ඔවුන්ට අවස්ථාව ලැබෙනවා.” පාරිභෝගික අවශ්‍යතාවන් වර්ධනය වීමත් සමඟ ඔවුන්ට දවසේ පැය 24 පුරාවට සේවාවන් සැලැසීම සඳහා ‘DFCC Chatz’ වැනි සේවාවන් අත්‍යවශ්‍ය වන බව DFCC බැංකුව විශ්වාස කරයි. මෙම සේවාව සඳහා භාවිතා වන, සරල හා පහසුවෙන් භාවිත කළ හැකි අතුරු මුහුණත නිසා තම එදිනෙදා බැංකු අවශ්‍යතා සපුරා ගැනීමේ දී මතු වන ඕනෑම ගැටලුවකට අවශ්‍ය සහාය ඉතාමත් පහසු, සුහදශීලී හා සංවාදශීලී ආකාරයකට ලබා ගැනීමට ගනුදෙනුකරුවන්ට හැකි වනු ඇත.

පුෂ්ප එපිටකඩුව

Leave A Reply

Your email address will not be published.

four × 4 =