වැසි වැටෙන දවස් වල තානායමෙහි ඉහුරුණු පබලු ඇට

හැම හොඳ කවි පොතක්ම ජීවිතයට කවුළු රැසක් විවර කරනවා. ඒ කවුළුවලින් හමාඑන හුළඟේ තියෙන්නෙ අලුත් ජීවිතයක්. එහෙම ජීවිත රැසක් පිරුණු කවි එකතුවක් ලෙස චින්තක සමන්ගෙ දෙවන කවි එකතුව වන ‘වැහි වැටෙන දවස්’ කෘතිය හඳුන්වන එක ප්‍රමාද කළ යුත්තක් නෙමෙයි…

කවියට ජීවිතයත් එක්ක තියෙන්නෙ මොන වගේ ගනුදෙනුවක්ද…? චින්තකගෙ බොහොමයක් කව් ඒකට රූපකමය උදාහරණ. චින්තක ලියන්නෙ ජීවිතයත් එක්ක ගලා හැලෙන කවියක්.
මේ බලන්න.

කෙම්බිමට මා ගෙනයන
නෞකාවෙහිම හිඳ
ආපසු හැරී විමසමි
පසු කරන් ආ මග
…………..
හඹා ඒමට රිසි වූ
නොගැඹුරු පෙදෙස් සසලය
අත් හැරීමට හුරු වූ
ගැඹුරු ම පෙදෙස් නිසලය
(සාගරයක අත් හැරීම, පි.11)

ජීවිතයේ තියන විග්‍රහ කරගන්න අපහසු සමහර ස්වභාවයන් ගැන කාව්‍යමය රූපකයක් ගොඩනගන එක ඉතා සියුම් කටයුත්තක්. චින්තක ඒක අපූරුවට කරල තියනව. මේ කවිය කියවා අවසන් කළ නොහැක්කක්. අවසන් නොවන
අවසානයක් නිතර ම ඉතිරි වෙනව.

‘බිඳී ගිය මධු බඳුන්’ කවිය කාලපරාසමය වශයෙන් සහ සිදුවීම්මය වශයෙන් පුළුල් පරිධියක කතාවක් ක්ෂුද්‍ර එහෙත් තියුණු සංරචනකට ගෙනඑන්නක්.

මා අතින් බිඳී ගිය මධු බඳුන
තිවූ සේ පිළිසකර කරනට
ඔහු දරන වෙර වීරිය
මගතොටෙහි දැකදැක
දෙස් තියාගමි මට
………………….
බිඳී ගිය දවසකදි එබඳුන
සක්වළින් එපිට මා සැඟවුණ
කැපුම් කටු දෝතින් ම
තියා සිය පපුවට
රැගෙන ඔහු යන්නැති අඳුරට
………………
රෝහලක දොරකඩ
පාළු වෙරළක අයිනක
මහමෙරක් සේ
ඇස ගැටෙයි ඔහු ඉඳහිට

සිතිජයේ ගිලෙන ඉර දෙස
බලා සිටිනා අන්දම
පිළිසකර කළ බඳුන ද
තව කුඩා බඳුනක් ද අතැතිව
(බිඳී ගිය මධු බඳුන්, පි. 50- 51)

මේ බිඳී ගිය මධු බඳුන මොකක්ද කියන එක අපි අමුතුවෙන් කිව යුතු නෑ. ඒකට අර්ථ පවරා දෙන එක පාඨක පරිකල්පනයට බාරයි. එහෙත් කවියෙන් ඈත්ව හිඳිමින් ඒ කවියට ලියැවෙන්න ඉඩ දෙන අපූරුව මේ කවිය පුරා තියනව. මේ කවියට කථකයෙක් ඉන්නව. නමුත් මේක ඒ කථකයාගෙ කවිය නෙමෙයි. කථකයා විසින් නිරීක්ෂිත පුද්ගලයාගෙ කවියයි. තමාගේ අනෙකාගෙ ජීවිතය දෙස එබිකම් කරන මේ මානුෂීය සංයත භාවය මේ කවිය නැවත නැවතත් කවියක් බවට පත් කරනව. කවියො සමාජෙට ඉන්න ඕනෙත් මේ කියන කාරණාව සඳහායි.

‘මිත්‍රයාගේ බිරිඳ’ කවියත් ජීවිතයේ සියුම් මොහොතක් ප්‍රතිනිර්මාණය කරන කවියක්. මානව බැඳිම් කොතන, කොයි මොහොතක, මොන විදිහට ඇති වෙනවද කියන එක මිනිස්සුන්ගෙ තර්කණ සීමාවෙන් ඔබ්බෙහි තියන
දෙයක්. ජීවිතය කියන්නෙ ඒ මොහොත වෙන්න පුලුවන්. කවියකට හැරුණු කොට ඒ මොහොත අල්ල ගන්න හැකි වෙන කුමකටද?

ප්‍රිය සම්භාෂණය අවසන
මිතුරා කියූ පරිදිම
දුම්රියක නංවා ඇය
පිටත් කොට හැරියද අලුයම
පිටත් කරගත නොහැකි
හැඟීමකි මා තුළ
(මිත්‍රයාගේ බිරි, පි. 68)

චින්තක සමන්ගෙ කවි ගැන මේ විදිහට දීර්ඝ ලියවිල්ලකට යන්න පුලුවන්… දඩ බල්ලා සහ කුඩා නිවස, දියණියක පිළිබඳ, හිස්කමක සිතුවමක්, කාර්‍යාලය ඉදිරිපිට තටු බිඳී සිටි කුරුල්ල, බෝඩිමට රිංගන මීයෙක්, තනිකඩයාගේ කවිය හෙවත් වැවකින් මතු වූ බුදු රුව, තානායමෙහි හමු වූ පබලු ඇට, කඳු නගින්නාගේ දියණිය, අමූලිකා චින්තගෙ කවි අතරින් අප සිත් වඩාත් පැහැර ගත් කවියි. ඉතා සියුම් ලෙස ගොඩනගන කවියක් සරලමතික අවසානයකට ගෙන එක චින්තකගෙ ඇතැම් කවිවලට යම් රසාත්මක හානියක් කර ඇතිදෝයි ආදර පෙරදැරි සිතින් සිතෙනවා. මොකද ඔහුගෙ කවිය බොහෝ වෙලාවට කවියට ගොඩනැගෙන්න දීලා තමන් පසෙකට වී ඉන්න උත්සාහ කරන කවියක් නිසා. අවසාන වශයෙන් චින්තකගේ කවියට, කවිය නමැති ශානරය වඩාත් ගැඹුරු කිරීමේ සුවිසල් විභවයක් ඇති බව සඳහන් කළ යුතුමයි.
-ලහිරු කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

17 − seventeen =