සංගාට නැති අපිට ඇති ප්‍රශ්නය

 

සංගා ගැන ප්‍රශ්නයේ දී වාමාංශික නැඹුරුවක් තියන අය එතරම් පැහැදීමකින් කතා කරනවා මම දැක්කේ නැහැ. ඒකට හේතුව තමයි සංගා මෙතෙක් කරලා තියන තමන්ගේ සංකේත ප්‍රාග්ධනය වෙළදපල තුල ආයෝජනය කිරීම සහ එයින් ලාභ ලැබීම සාමාන්‍යයෙන් වමේ අය රුස්සන්නේ නැති කම. ඒ අදහස එක්ක මම මෙතන හැප්පෙන්න යන්නේ නැහැ. මොකද මම සංගාගේ තැන හිටිය නම් මමත් එහෙම කරන්නේ නැති නිසා. සංගා එතෙන්ට ගේන්න සහ රටේ ක්‍රිකට් ඒ තැනට ගේන්න රටේ මිනිස්සුන්ගේ මහන්සියත් විශාල ප්‍රමාණයක් පාදක වෙලා තියන නිසා ඒ සංකේත ප්‍රාග්ධනය ඒ මිනිසුන්ට නැවත විකිණීමේ ගැටළුවක් මම දකිනවා. ඉතිං මේ විදියට මේ ගැන බලන්න පුළුවන් තමයි. නමුත් ඇත්ත දේශපාලන ප්‍රශ්නයක් වෙන තැනක තියනවා. අපි බලමු ඒක ලිහා ගන්න.

 සංගාගේ ප්‍රශ්නය සහ  වරාය ප්‍රශ්ණය 

ඊයේ වෙනකොට වරාය වැඩ වර්ජනයක් තිබුණ. දවල් වෙද්දී ප්‍රධාන මාධ්‍ය ඒ ගැන කතා කළා. සංගාගේ ප්‍රශ්නය ආවේ ඊට යම් වෙලාවකට පස්සේ. නමුත් ලංකාවේ හදවත වගේ කියන වරාය ප්‍රශ්නේ සම්පුර්ණයෙන් පස්සට ගියා සංගා නිවුස් එකත් එක්ක. සංගා කියන්නේ තට්ට තනියම පොලිසියට ආව තනි පුද්ගලයෙක්. වාරය වැඩ වර්ජනය කියන්නේ ලොකු සාමුහික වැඩක්. නමුත් තනි පුද්ගලයෙක් ගේ නිවුස් එකක් විසින් ලොකු දේශපාලන බලපෑමක් සමස්ථය තුල ඇති කළා විතරක් නෙවෙයි අද වෙනකොට මහේල පොලිස් අපරාධ කොට්ටාශයට ගෙන්නුවෙත් නැහැ. හවස් වෙද්දී මුළු ප්‍රොජෙක් එකම වහලා දාන තත්වෙට ගියා. වැඩේ කුජීත උනා.

දැන් තේරෙන්න ඕනි බලපෑම් සහගත වෙන්නේ කෝකද කියන එක. ඉස්සර වරාය වැඩ වර්ජනයක් කියන්නේ රට හෙල්ලෙන වැඩක්. වරාය ඇණ හිටියොත් රටම නතර වෙනවා. අද ඒ ගැන කිසි කෙනෙක් ගණන් ගත්තේ නැහැ. නමුත් ඊට වඩා සංගා පරශ්නේ ඉස්සරට ආවා. හැමෝම ඒ එක්ක බැඳුනා. ඔන්න දැන් කියයි ඕක තමයි ‘දෘෂ්ටිවාදයේ’ හැටි කියල. නැහැ. මිනිස්සු දේශපාලන ගේස් (gaze) එක වෙනස් කරගෙන. ඒකයි ඇත්ත. කොළඹ ලොකු පෙළපාලියක් යනවට වඩා ලොකු බලපෑමක් බුකියේ පෝස්ටු ටිකකට කරන්න පුළුවන් වීම මතවාදී තලයේ ගත්තම අපි සීරියස් විදියට හිතන්න ඕනි දෙයක්. සන්නිවේදනය අද ගමන් කරන්නේ වෙනම ම දිශාවක. මේක ලොකු ජනමාධ්‍ය ආයතන විසින් එයාලගේ ප්‍රාග්ධනය සහ බලය පාවිච්චි කරලා හදන දෙයකුත් නෙවෙයි කියල දැන් පේනවා. අනේ අපොයි කියන්න තරම් දේශපාලන පක්ෂ විසින් කරපු දෙයකුත් නැහැ. තනි තනි පුද්ගලයෝ විදියට කාගෙවත් බලපෑමක් නැතුව ස්වඡන්දතාව (freewill) ඇතුලේ සිද්ධවෙන දෙයක් විතරයි රාජ්‍යය නෙවෙයි අද වීරයෝ හදන්නේමෙතන තියෙන්නේ. ඒක ප්‍රභල බලපෑමක් කරනවා.

රාජ්‍යය නෙවෙයි අද වීරයෝ හදන්නේ

පශ්චාත් නූතන යුගය ඇතුලේ සාමූහික අතීතයට (collective histories) වටිනාකමක් නොලැබීමත් අනාගතය ගැන කිසිවක් සිතා ගැනීමට නොහැකි වීමත් ඇතුලේ පුද්ගල ශරීර වෙත මිනිස්සු මාරු වෙමින් පවතිනවා. මොකද දැන් පෙනෙන්න තියන එකම එක දේ එපමණක් නිසා. මිනිස්සු පෙනෙන දේ විශ්වාස කරනවා. පෙනෙන දේ අල්ලා ගන්නවා. ඒකට කරන්න දෙයක් නැහැ. පෙනෙන දේ ඇත්තද නැත්තද කියල තේරුම් කරල දෙන්න ආපු අය අද නිකම් බලාසිටින්නන් ගණනට පත්වෙලා. ලියන සටහනක් පොඩ්ඩක් දිග වැඩි වුනොත් කවුරුත් කියවන්නේ නැහැ. වෝල් එකේ පහළට යනවා. අරක කියවන වෙලාවේ සිංදුවක් අහනවා. ජෝක් එකක් බලනවා. ආවස්ථිත පිරිවැය එහෙමයි. මේ මොහොතේ කරන්න වැඩ ගොඩක් මිනිස්සුන්ට තියනවා. ඒවා වෙළඳපල හදල දීලා තියෙනවා. ගේස් පොයින්ට් එක වෙනස්.

රාජ්‍යය නෙවෙයි අද වීරයෝ හදන්නේ. බිල් ගේට්ස්, මාක් සකර්බර්ග්, මුකේෂ් අම්බානි, ජැක් මා වගේ චරිත. ඉතිහාසය ගල් ගැසුන, අනාගතය අවිනිශ්චිත සහ වර්තමානය අල්ලා ගත නොහැකි තරම් වේගවත් වෙලාවක මිනිසාට සිදු වෙනවා තම පුද්ගලබව (individual self) කෙරේ විශ්වාසය තබන්නට. මේ විදියටම නොවුනත් නූතන යුගය ඇතුලේ මුලින්ම මේ අදහස උච්චාරණය කළේ නීට්ෂේ. විශේෂයෙන් දෙවියන් මිය ගියාට පස්සේ මිනිස්සු තමන්ගේ ආත්මය එක්ක ම සටනක් දියත් කරලා තිබෙනවා. ඒ සටන අපි ජයගන්න ඕනි. ඒක පැවැත්මේ අත්‍යවශ්‍ය කොන්දේසියක්.

 රාජ්‍යය පවා මේ පුද්ගල ශරීර වලට යටත් වෙමින් පවතිනවා

ෆ්‍රෙඩ්රික් ජේම්සන් කියන විචාරකයාට අනුව පවතින්නේ තාවකාලික වර්තමානයක් නිසාත්, ඒ තාවකාලික වර්තමානය පවා වේගයෙන් වෙනස් වෙන නිසාත්, සමාජ ප්‍රගමනය ගැන කිසිවක් පුරෝකතනය කල නොහැකි නිසාත් ප්‍රාග්ධනය සන්නිවේදනය කරන්නේ පුද්ගල ශරීරයක් හරහා බව අපි තේරුම් ගන්න ඕනි. රාජ්‍යය පවා මේ පුද්ගල ශරීර වලට යටත් වෙමින් පවතිනවා. මේ වේගයෙන් වෙනස්වන වර්තමාන කාලය සමඟ තරඟ කළ හැකි තරඟකරුවා ඉතුරු වෙනවා. අනෙක් අය ඉවර වෙනවා. ඉවර වෙන කෙනා ආයේ කවදාවත් ඔළුව උස්සන්නේ නැහැ. බලන්න මේ පාර චන්ද ව්‍යාපාරය උදාහරණ හැටියට…

මේ පැරණි ඉතිහාසයෙන් වර්තමානයට මාරුවෙන මිනිසාගේ ප්‍රශ්නය මොකක්ද? පොදු බවෙන් ඉල්පුණ මේ තනි පුද්ගලයා සාර්ථක බව වෙත ගියේ කෙසේද? ඒක තමයි අද මිනිසා හොයන්නේ. ඔවුන්ගේ ‘සාර්ථක බවේ කතාව’ (success story) තමයි නව පශ්චාත් නූතන දේශපාලනය වෙලා තියෙන්නේ. ජැක් මා එක වෙලාවක කියනවා ඔහු සැන් ෆ්රෑන්සිස්කෝ වලදී ‘අලිබබා’ කියන නම හොයාගත්ත හැටි. වටේ හිටිය දහ දෙනෙක් ගෙන් අහපුවම ඒ දහ දෙනාම ඒ නම දැනගෙන හිටියා කියල ඔහු කියනවා. ඉතින් එයා එයාගේ ව්‍යාපාරයට ඒ හැමෝම දන්න නම දාල තියනවා. මේ මොහොත ගැන ‘ඉව’ (instinct) ඔහු සතුයි. අන්න ඔහුගේ රහස. ඇගල්මාව. සරලයි. මේ ‘රහස’ වටා හැමෝම බැඳෙනවා. ඔවුන්ගේ ජීවිත කතාව වගේම ‘සාර්ථක මිනිසෙක් වන්නේ කෙසේද’ යන මාතෘකා උණු කැවුම් වගේ විකිණෙනවා. වමට අද දවසේ මිනිසාට ප්‍රධානය කරන්න ‘සාර්ථක කතාවක්’ නැහැ. ඒ නිසා එයාල දිහා මිනිස්සු බලන්නේ අඩුවෙන්.

 ඩඩ්ලි සිරිසේන වැඩ කරන්නේ මෙහෙම නම්

ඉතින් මම අර කලින් නම් සඳහන් කරපු ගොඩක් අය දේශීය අය නෙවෙයි දේශීය සීමාවෙන් එළියට ගිය අය (post-national). වෙළඳාම නිසා හෝ අධ්‍යාපනය නිසා හෝ ක්‍රීඩාව නිසා හෝ මේ ඕනෑම දෙයක් නිසා විය හැකියි. දැන් දැන් හැම දේකටම වගේ ඉදිරියට එන වෘත්තිකයින් වන වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, තොරතුරු තාක්ෂණ ශිල්පින්, ව්‍යාපාරිකයින් වගේ අය අර පරණ රාජ්‍යයේ ඛණ්ඩාංක එක්ක දැන් වැඩ කරන්නේ නැහැ. ඔවුන් රාජ්‍යයට වඩා දියණු ගෝලීය ව්‍යුහයන් එක්ක වැඩ කරමින් දැන් දැන් ඔවුන්ගේම වූ රාජ්‍යය පාලනයක් (self-governing system) අත්පත් කර ගනිමින් ඉන්නවා. මොන ගෝලීය මඟුලක් වත් නැති ඩඩ්ලි සිරිසේන වැඩ කරන්නේ මෙහෙම නම් මුකේෂ් අම්බානි ල ජැක් මා ල වැඩ කරනවා ඇත්තේ මොන කැපෑසිටියකින් ද කියල නිකම් හිතන්නකෝ.

මෙන්න මේ ආකෘතිය ඇතුලේ තමයි සංගා අපිට ගොඩක් ඉලිප්පිලා පෙනෙන්නේ. ව්‍යාපාරික අයත් එහෙමයි. ඒ වගේම තමයි මිළිටරි පසුබිමක් තියන වෘත්තීන් වල ඉන්න අයත්. කොරෝනා කාලේ එයාලත් පෙන්නුවා එයාල සතු ඇතැම් දක්ෂතා සහ හැකියාවන් (පොලිස් ප්‍රහාර ගැන නෙවෙයි මේ කියන්නේ). වෛද්‍යවරුත් එහෙමයි. ඒ නිසා මේ සුවිශේෂ දක්ෂතා සහ පුරෝකතන හැකියාවන් තියන සමාජ කණ්ඩායම් මේ යුගයේ ගොඩක් ඉස්මතු වෙලා පේනවා. එයාල සාර්ථක ප්‍රතිපල පෙන්වමින් ඉන්නවා. ආගමික නායකයෝ උනත් සාර්ථක වෙලා පෙන්නන්න ඕනි (බොරුවට නෙවෙයි ඇත්තටම රහත් වෙලා පෙන්නන්න ඕනි. නැත්නම් පවුලක් පන්සලක් වෙලා ඒක සාර්ථක කරන්න ඕනි. ඒක අභියෝගයක්). නැත්නම් මේ යුගය විසින් ඔවුන් අතුරුදහන් කරලා දාන්න නියමිතයි.

ෆයිනල් ඕවර් එක මාලිංගට දෙන්නේ ඒ නිසා

පොඩි බුලත් විට කඩයක් කරන්න උනත් දක්ෂ කමක් තියෙන්න ඕනි. ක්‍රිකට් කියන්නේ සාමුහික ක්‍රීඩාවක් වුනාට ඒ ඇතුලේ සුවිශේෂයන් විසින් ගොඩක් ලොකු බලපෑමක් කරනවා. මාලිංග බලන්න. සුවිශේෂ පන්දු යැවීම. විලාසිතා. වෙනස් පෞරුෂය. අරවින්ද. සංගා. මහේල. සාමුහික තමයි හැබැයි සුවිශේෂ බව විසින් විශාල වෙනස් කම් කරනවා සමස්ත ප්‍රථිපලයට. ෆයිනල් ඕවර් එක මාලිංගට දෙන්නේ ඒ නිසා. ගොඩක් කෙල්ලෝ නිළියෝ තමයි. ඒත් මැරලින් මොන්රෝ. අසාමාන්‍යතාව පිළිමයක් බවට පත්කළා ඇය (singularity into idol). ජීවිතයක වටිනාකම මිළ කරන්න බැහැ කියල නීට්ෂේ කියන්නේ ඒකයි. පුද්ගලභාවයේ නිදහස වෙනුවෙන් ඇරඹි ප්‍රංශ විප්ලවය නැවත නැවත සිදුකළ යුතුයි කියල එයා කියනවා. ‘දෙවියන් ඉදිරියේ අපි සමාන නැහැ’. ඒක තමයි නීට්ෂේ ගේ උදාන වාක්‍යය. බලෙන් සමාන කරන්නත් බැහැ.

නීට්ෂේ සෙව්වේ පුද්ගල නිදහස වෙනුවෙන් සටන් කරන්න කැමති මිනිසුන්. අනාගත නූපන් මිනිසුන්. ‘මේ පොත මා ලිවූ බව සත්‍යයක් වූවත් මෙහි සැබෑ පාඨකයින් තවම ඉපදී නැත’ (Antichrist,1895) කියල එයා කියන්නේ ඒකයි. දේශපාලනය වෙනුවට එයා හෙව්වේ උසස් දේශපාලනයක් (archi-politics). කේවල පුද්ගල විමුක්තිය සහිත දේශපාලනයක්. මිනිසා විසින් ම මිනිසා සමතික්‍රමණය කරන දේශපාලනයක් (self-overcoming). නාස්තික බව වෙනුවට එයා අරන් එන්නේ බලාපොරොත්තුව. අපි නීට්ෂේ ඇත්තටම සොයාගන්න මොහොතේ නීට්ෂේ අපිට අහිමි වෙනවා කියල ඇලන් බදිව් කියන්නේ අපි අපිටම නැතිවෙන නිසයි. මේ අපි අපිව හොයාගන්න වැඩේ සාමුහික වැඩක් නෙවෙයි. ආත්මීය වැඩක්. ගොඩක් සාර්ථක මිනිස්සු මේ තමා තුළ ඇති තමාට වැඩි දෙය හොයා ගත්ත අය. තමන්ගේ දක්ෂතාව හොයාගත්ත අය.

සංගා කියන්නේ එයාගේ වැඩේ සාර්ථකව අවසන් කරපු කෙනෙක්.

කොහොම උනත් තමන් කරන මොන වැඩේ උනත් ඒ වැඩේ සාර්ථක කරලා පෙන්නන්න ඕනි කියල මමත් පුද්ගලිකව හිතනවා. කවුරු හරි යම් ව්‍යාපෘතියක් කරගෙන යනවා නම් ඒ වැඩේ ජයග්‍රහණය පෙනෙන මානයට හරි ගෙනියන්න ඕනි. නැත්නම් පට්ට අවංකව ඒ වැඩේ අත්හැරලා දාන්න ඕනි. නැත්නම් මේ පරාජිත මිනිස් ජීවිත අපි හැමෝටම ක්ෂිතියක් වෙන්න නියමිතයි. තමන්ගේ ෆැන්ටසි එකේ කිසිම ජයග්‍රහණයක් නැතුව මැරෙනවා කියන එක මනුස්සයෙක් ‘තමන්ගේ ආත්මය ඇතුළට ගන්නේ’ කොහොමද?

ඊට විකල්පය තමයි සියදිවි නසාගැනීම. සමුරායි ක්‍රමයට.

වාමාංශික සිතන්නන් මෙතෙක් නීට්ෂේ ගැන කතා කලේ අඩුවෙන් උනත් දැන් දැන් ඒ ගැන එයාල කතා කරන්න පටන් අරන්. කියවන්න ඇලන් බදිව් ගේ ‘නීට්ෂේ කවුද’ (Who is Nietzsche?) යන පහත ළිපිය.
-මහේෂ් හපුගොඩ

Click to access WhoIsNietzschePLI11.pdf

Leave A Reply

Your email address will not be published.

6 − one =