අයාලේ ගිය සිතක සිතුවිලි – නූතන දේශපාලඥය හා වියතුන්

තවත් පාර්ලිමේන්තු මහ මැතිවරණයක එළිපත්ත මත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සිටින්නෙමු. එබැවින් මෙම කෙටි සටහන මෙරට වෙසෙන පක්ෂ විපක්ෂ බුද්ධිමත් බහුතර ජනතාවගේ සිතසුව පිණිස ලියා දැන්වීමට මට සිත්විය.

නූතන මෙරට දේශපාලඥයන්ගෙන් බහුතරයක් අධමයන්

නූතන මෙරට දේශපාලඥයන්ගෙන් බහුතරයක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අධමයන් ය. ඔවුනට ඇත්තේ අති පෞද්ගලිකවූත් අති විනාශකාරීවූත් පටුම පටු එකම එක අරමුණක් පමණි. එනම්, ඒ දේශපාලන බලය, මිල – මුදල් හා කීර්තිය යනාදිය හොදින් හෝ නරකින් අත්පත් කර ගැනීමේ සිහිනය පමණි. එවන් වූ දේශපාලඥයන් බහුතරයක් වෙසෙන රටක … උදාවන හෙට දින කෙබදුද ? සැබවින්ම ඉතා අවසනාවන්තය.ඉතා දුක්ඛිතය.

පාදඩ දේශපාලන සංස්කෘතියක්

මෙවන් වූ ගති ලක්ෂණවලින් හෙබි දේශපාලඥයන් හා ඔවුන් විසින් පෝෂනය කරන ලද පාදඩ දේශපාලන සංස්කෘතියක් සහිත රටක් සාධනීය දියුණුවක් කරා රැගෙන යා හැකිද ?
නොහැකිය. සැබවින්ම නොහැකිය.
අඩියක් තියා අඩුම තරමේ දශමයක්වත් රට ඉදිරියට රැගෙන යෑමට නොහැකිය.

එසේ නම්. මෙරටේ මතු අනාගතය වෙනුවෙන් අප නිර්මාණය කරගත යුත්තේ කුමන ආකාරයේ දේශපාලඥයෙක්ද ? ප්‍රශ්න ඇත්තේ මෙතැනය.

මගේ දේශපාලන කියවීමට අනුව නම්, අප මෙරටේ මතු අනාගතය වෙනුවෙන් නොපමාව නිර්මාණය කරගත යුත්තේ රටට හදවතින්ම ආදරය කරන, අවංකව යමක් කිරීමට වෙර දරණ, නිර්මාණශීලී සේම අනාගතය පිළිබදවත් ලෝකය පිළිබඳවත් ඉතා තියුණු දැක්මකින් යුත් දේශපාලඥයකි.

නිර්මාණශීලීව හිතන පතන මිනිසූන්

ලොව මෙතෙක් ආධ්‍යාත්මික හා හෞතික වශයෙන් දියුණුවූයේද තවදුරටත් දියුණුවන්නේද නිර්මාණශීලීව හිතන පතන සේම ඒ වෙනුවෙන් අවංකව කැපවී ක්‍රියාකරන සුන්දර මිනිසූන්ගෙන් මිස නිකන්ම නිකං දේශපාලන වේදිකාවල හා මාධ්‍ය ඉදිරිපිට කටපත්ත අදින පුස්සන්ගෙන් නොවන බව ඉතිහාසය අපට පසක් කර දෙන පාඩමකි. ඵසේම සත්‍යයකි.

මෙම ඓතිහාසික සත්‍යයට පිටු පා දේශයක් වශයෙන් අප මේ ඉබාගාතේ යන ගමනේ කෙළවර කොතැනද ?

මට මෙහිලා අපූරු කියමනක් සිහියට නැගේ.එනම් මෙරට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංඝපීතෘවරයාණන් වහන්සේ නමක් වූ අපවත් වී වදාළ ජාත්‍යන්තර විද්වතකු වූ මහාචාර්ය අතිපූජ්‍ය වල්පොළ රාහුල නාහිමියන් වරක් දෙසූ අපූරු වදනකි.

“මේ රටේ මිනිස්සු සැබවින්ම වහලුන්ය”.

මේ වනවිට රටේ සමස්ත ධනයෙන් 55% පමණ මෙරටට දේශපාලඥයන් විසින් පුරා අවුරුදු හැත්තෑදෙකක් ( 1948 – 2020 ) පමණ දීර්ඝ කාලවකවානුවක් තිස්සේ වරින් වර කොල්ලකා ඇත.
එම කොල්ලකෑම 1977 දි මෙරට හිටපු පළමු විධායක ජනාධිපති ජේ .ආර් ජයවර්ධන මහතා විසින් මෙරටට නමෝවිත්තියෙන් හදුන්වා දෙනු ලැබූ “විවෘත ආර්ථිකයත්” ( A Opening Economy ) සමග තව තවත් වේගවත් විය. සාමාන්‍යය විය. දේශපාලන සංස්කෘතිකක් බවට පත්විය. මෙය කොයි කාටත් තේරෙන ආකාරයකින් විස්තර කලහොත් මේ වන විට මෙරට “චෞර රාජ්‍යයක්” බවට පත් වී ඇත.

වියතුන් දේශපාලනයට යා යුතුය යන මිත්‍යාව

ඊළඟ දශකයේදී මෙරට ජනතාව ඇණ.ගන්නේ … මෙරට දේශපාලන මඩගොහොරුවට පනින්නට මග බලාගෙන සිටින “වියතුන්”( Academics ) කියා ගන්නා වියතුන්ගෙනි. “වියතුන් දේශපාලනයට යා යුතුය” යන මිත්‍යාව මේ වනවිට සමාජගත වී ඇත. සැබවින්ම මෙහි සත්‍යයක් තිබේද ? අපි මඳක් ඒ පිළිබඳව විමසා බලමු. කිසිදු සත්‍යයක් නැත . එය අමුම අමු විහිලුවකි. එය අමුම අමු මිත්‍යාවකි.

මේ පිළිබඳව අපි මදක් කරුණු කාරණා සහිතව විමසා බලමු.

ඔය වියතුන් නියෝජනය කරන මෙරට ක්ෂේත්‍රයන් මොනවද ? එම ක්ෂේත්‍රයන් නම් … සෞඛ්‍ය, අධ්‍යාපනය, කෘෂිකර්මික හා රාජ්‍යපරිලනය යි. ලොව කිනම් රටක වුවද දේහනාලිය වන් මෙම ක්ෂේත්‍රයන්හි මෙතෙක් අප ලබා ඇති දියුණුව කුමක්ද ? …. ලෝක මට්ටමින් නොව ආසියාතික මට්ටමින්ද නොව අපට දැනෙන – හැගෙන පරිදි ඇති වී ඇති දියුණුව කුමක්ද ? සෞඛ්‍ය ක්ෂේත්‍රය … ගම්බද රෝහල්, නගරබද රෝහල් හා පෞද්ගලික රෝහල් වශයෙන් දැඩි විෂමතා සහිතව කොටස් තුනකට බෙදී ගොස් ඇත.
අධ්‍යාපන ක්ෂේත්‍රය … ගම්බද පාසැල් ,නගරබද ජනප්‍රිය පාසැල් හා ජාත්‍යන්තර පාසැල් වශයෙන් දැඩි විෂමතා සහිතව කොටස් තුනකට බෙදී ඇත. එහිලා උසස් අධ්‍යාපනය වන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද රජයේ විශ්ව විද්‍යාල හා පෞද්ගලික විශ්ව විද්‍යාලය වශයෙන්ද තවත් කොටස් දෙකකට බෙදී ගොස් ඇත. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ රඟ වඩාත්ම දෙමව්පියන්ට දැනෙන්නේ පළමු වසරට තම ළමයින් ඇතුලත් කර ගැනීමට ගිය විටදී ය.

සහලින් ස්වයංපෝෂිත රටේ සහල් වලට මිලක් නෑ

කෘෂිකර්මාන්තය පිළිබඳවද කිව යුත්තේ ද එයමය. චීරාත්කාලයක් තිස්සේ මහ පොළොව සමග යහමින් ගණුදෙනු කොට රට සහලින් ස්වයංපෝෂිත කරන ලද ආදි මුතුන්මිත්තන්ගෙන් පැවත එන සාඩම්බර ජාතිකයක උරුමකරුවන් වන අපිට අද සහල් වලට හරිහැටි මිලක් නියම කරගැනීමට නොහැකි වී ඇත. සරුසාර මහ පොළොවක් හිමි මේ භූමියේ ජනතාවගේ එදිනෙදා පරිභෝජනය සදහා පළතුරු වලින් බහුතරක් ගෙන්වන්නේ පිටරටින් ය. කෘෂි ආනයනයක් කියා දෙයක් නැත්තටම නැතිය. භික්ෂුව වහන්සේලා වන අපට සාංඝික දානයකට ගොස් වළඳන්න ලැබෙන පළතුරු පිගානේ වැඩිපුරම නොඑසේනම් මුලුමනින්ම ඇත්තේ ආනයනය කරන ලද පළතුරු ය.

ලොව කිනම් හෝ රටක ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයකි , පරිපාලන ක්ෂේත්‍රය. එය වූ කලී රටේ හුදෙක්ම කාර්යක්ෂමතාවයට බෙහෙවින් බලපාන බව අමුතුවෙන් කිව යුතු නැත.

වියතුන්ගේ සැබෑ නිරුවත

මේ වනවිට ලොව විද්‍යුත් සංනිවේදන තාක්ෂණයට අනුව ලෝකයම අතැඹුලකි. ලෝකයේ ඕනෑම තැනකට දුරකථන ඇමතුමක් දීමට හෝ පණිවිඩයක් යැවීමට ගතවන්නේ තත්පරයෙනුත් අඩක් වන් ඉතා සීමිත කාලයකි. අප කොයි කාගෙත් හිතවතා වන ජංගමදුරකථනය වූ කලී ලෝක තොරතුරු ගබඩාවකි. එහෙව් වාතාවරණයක් හමුවේ අපේ රජයේ කාර්යාලයකින් ලිපියක් හෝ ලිපි – ලේඛන සහිත ෆයිල් කවරයක් තවත් ප්‍රදේශයකට හෝ නගරයකට යෑමට අඩුම තරමේ සති දෙකක් හෝ තුනක් ගතවේ. මෙන්න…. අපේ රට හදන්න දියවන්නාවේ මහ ගෙදරට යන්න දඟලන වියතුන් නියෝජනය කරන ක්ෂේත්‍රයන්හි දියුණුවේ තරම.

මෙවන් වියතුන්ද ඊළඟ දශකය තුළ මෙරට වැටී ඇති අගාධයෙන් ගොඩගන්න අප දේශපාලනයට යවන්නේ ? ඔය දියවන්නාවේ මහගෙදරට යන්න කැස කවන වියතුන්ගෙන් බහුතරයක් අන්තිම අසාර්ථක චරිතය. නොඑසේ නම් තමුන්ගේ නොහැකියාවේ නිරුවත දේශපාලන බලය නැමැති රෙදි කඩෙන් වසා ගැනීමට දඟලන නොමේරූ චරිතය.

මේ වනවිට ඔය වියතුන්ගේ සැබෑ නිරුවත මෙරට සමස්ත ජනතාවට හොදින් පසක් වෙමින් තිබේ.

දියවන්නාවේ මහගෙදරට යන වියතුන්ගේ තරම

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් “වියත් මඟ” ඔස්සේ පැමිණ ආණ්ඩුකාරධූරයක් සති කිහිපයකට දරා කිසියම් දේශපාලන පක්ෂයකින් මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්නට පෙරමග බලා සිටින කාන්තාවක් වේ. ඇය යන යන තැන පෙරලා ගන්නේ බාල්දිය. ඒ ඇයගේ කටේ හොදකම නිසාය. ඇය විද්‍යුත් මාධ්‍ය බුද්ධිමය සංවාදයක් පිණිස භාවිතා කරන ආකාරය දන්නේම තැත. ඒ තමුන්ගේ කටට තිරිංග නොමැති නිසාය.
“කොවිඩ් 19” කොරෝනා ( Covid 19 / Corona ) වසංගතය මෙරටට පැමිණි මුල්කාලපරිච්ඡේදය තුළ ඇය කටින් එයට බෙහෙතක් සොයා ගත් අයුරු මෙරට පක්ෂය විපක්ෂ අපි කොයි කවුරුත් හොදින් දනිමු. මේ වනවිට ඇය තම පාසැලට ගොස් තමුන්ගේ කටට තිරිංග නොමැතිකම හේතුව නිසාම තවත් බාල්දියක් පෙරලාගෙන ඇත.

මෙන්න… රට හදන්න දියවන්නාවේ මහගෙදරට යන වියතුන්ගේ තරම … තව හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටය.

වියතුන්ට සිදුවනුයේ …”වවුලගේ මගුල් ගෙදර ගියා සේ”

මේ වනවිට ලෝකයට විවිධ ආකාරයෙන් විහිලු සැපයීමට මෙරට සමාජය ඉතා දක්ෂ වී ඇත. මෙරට බහුතර දේශපාලඥයෝ තම දේශපාලන භූමිකාව පැත්තකට විසිකර දමා විද්වතුන් වීම සැරසෙති. එසේම විද්වතුන් කියා ගත් විද්වත්හු බහුතරයක් තමුන්ට හිමි භූමිකාව පැත්තකට විසිකර දමා දේශපාලඥයන් විමට සැරසෙති.

මා දන්නා තරමින් ලෝකයේ සිදුවන්නේ මින් අනෙක් පැත්තය. එනම් දේශපාලඥයන් තමුන්ට නියමිත භූමිකාව කරන අතර විද්වත්හු තමුන්ට නියමිත භූමිකාව කර තම රට නවීන ලෝකය ඉල්ලා සිටින රටක් බවට පත් කිරීමට වෙර දරති.

මෙම ලිපිය නිමා කිරීම මත්තෙන් කිවයුතු දෙයක් ඇත. එනම් ඔය දේශපාලඥයන් වීමට පෙරමග බලා සිටින වියතුන්ට සිදුවනුයේ …”වවුලගේ මගුල් ගෙදර ගියා සේ” මෙම ඔද්දල් වූ දේශපාලනය තුළ එහෙයියන් වී එල්ලී සිටීමට විනා වෙනත් කජ්ජක් කිරීමට නොවේ.

කරුණු කාරණා එසේ වී නම්, මෙරටේ ගොරවනීය පුරවැසියන් වශයෙන් ඔබගේ “දේශපාලන දැක්ම” ( Political Vision ) කෙබන්දක් විය යුතුද ? මෙය ඔබේ බුද්ධියේ විමසුමට … !!!

-පූජ්‍ය ඇතිපොළ මංගල හිමි

Leave A Reply

Your email address will not be published.

4 × four =