රටවල් 5කින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට චෝදනා !

 

එක්සත් රාජධානිය ඇතුළු රටවල් 5ක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කර ඇති අතර එයට පදනම් වී ඇති මෑතම සිදුවීම් ලෙස පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම, විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම ඇතුළු තවත් කරුණු ගණනාවක් බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝව යන රටවල් පහේ කණ්ඩායම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසිවාරයට සහභාගි වෙමින් පසුගිය 30 වැනිදා මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙම රටවල් පහේ කණ්ඩායම මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ සිය ඒකාබද්ධ පකාශයේ සඳහන් කර ඇත්තේ මාර්තු මාසයේ සිට කොවිඞ් 19 වසංගතය පාලනය නිසා කලාපයේ සාමාන්‍ය අගයට වඩා අඩු මට්ටමකින් කළමනාකරණය කළද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ප්‍රකාශ කළ ආකාරයට වසංගතය මැඬපැවැත්වීම සඳහා මානව හිමිකම් කඩවන අසාමාන්‍ය ක්‍රියාමාර්ග නොගත යුතු බවයි.

ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කර ඇති රටවල් පහේ කණ්ඩායම සැරයන් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීම, යුද සමයේ මනාව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල වූ නිලධාරීන්ට උසස් වීම් ලබාදීම පිළිබඳවද මුලික කරගෙන ඇති බව ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අතරම නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇති නමුත් මෙතෙක් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර නොමැති බවද රටේ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරිකරණයට ලක්කරමින් සිටින බවද එම රටවල් පහේ කණ්ඩායම ශ්‍රී ලංකාවට වැඩිදුරටත් චෝදනා එල්ල කර තිබේ.

Leave A Reply

Your email address will not be published.

four × 2 =