අරුවක්කාලු යළිත් ඉවරයි !

අරුවක්කාලු කසළ බිම්පිරවුම පිළිබඳව සාකච්ඡාව නැවත වරක් කරළියට පැමිණ තිබේ. ඒ එහි මෙහෙයුම් යලි ආරම්භ කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබීමත් සමගය. අගමැති මහින්ද රාජපක්ෂගේ යෝජනාවකට අනුව එම අනුමැතිය ලැබී තිබුණේ අතීතයේ මතු වූ කිසිඳු පාරිසරික ගැටලුවක් සැලකිල්ලට නොගනිමිනි.
අගනුවර ප්‍රධානව ජනනය වන ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට තිරසාර සහ විද්‍යාත්මක විසඳුමක් ලෙස 2017 වසරේදී අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට එවක ආණ්ඩුව කටයුතු කලත් එය අතරමග නවතා දැමුණේ ගොථාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබූ ඡන්ද පොරොන්දුවක් ඉටු කරමිනි. ඒ වෙනුවට කොළඹ මහා නගර බලප්‍රදේශය ප්‍රධානව ජනනය වූ කසළ කෙරවලපිටිය ප්‍රදේශයේ මුතුරාජවෙල තෙත්බිමට අයත් ඉඩමකට බැහැරලීමට වර්ථමාන ආණ්ඩුව කටයුතු කළේය. නමුත් මේ වනවිට එහි ඉසිලුම් ධාරිතාවයද ඉක්මවා කසළ කන්දක් ගොඩගැසී තිබීම හේතුවෙන් බලධාරීන් නැවතත් අරුවක්කාලුව දෙසට හැරී ඇති බව පෙනෙන්නට තිබේ.

මෙම ව්‍යාපෘති භූමියට මීටර් 300ක් පමණ දුරින් සේරක්කුලිය ධීවර ගම්මානය පිහිටා ඇති අතර එහි වැසියෝ මෙම කසළ ව්‍යාපෘතිය හේතුවෙන් කබලෙන් ලිපට විසිවී සිටින ආකාරය ඛේදනීයය.

නිලූකා මදුරානි

මෙම ව්‍යාපෘතියට කසළ බැහැරලීම නවතා තිබූ තත්ත්වයක් තුල පවා පසුගිය සමයේ අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් තමන් අත්විඳින පීඩාවන් පිළිබඳව අදහස් දැක්වූ සේරක්කුලිය ‘සෙඩෙක්’ කාන්තා සමිතියේ ලේකම් ඩබ්ලිව්. නිලූකා මදුරානි (32) මහත්මිය ප්‍රකාශ කලේ මෙම කසළ අංගනය දෙසින් හමා එන අධික දුර්ගන්ධය හේතුවෙන් කාන්තාවන් සහ දරුවන් හිසරදය, ඔක්කාරය, සහ වමනය යන රෝග ලක්ෂණ වලින් නිතර පීඩා විඳින බවය. ඒ හේතුවෙන් ඔවුන්ගේ එදිනෙදා කටයුතු මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුද අඩාලව ඇති බව ඇය පැවසුවාය.

සේරක්කුලිය සාන්ත පේදුරු දේවස්ථාන දායක සභාවේ උප සභාපති ඩබ්ලිව්. ක්ලෝඩ් ලින්ටන් (51) මහතා සුළු පන්න ධීවර කාර්මිකයෙකි.

ඩබ්ලිව්. ක්ලෝඩ් ලින්ටන්

“අපිට එක දිගටම ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙනවා, පහුගිය කාලේ නොරච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිසා අපට ලැබෙන මත්ස්‍ය අස්වනු විශාල වශයෙන් අඩු වුණා. එහෙම තියෙද්දී අපේ ගමට ගෙනත් දාපු වින්නැහිය තමයි මේ කුණු ගොඩ. මේ කුණු ව්‍යාපෘතිය පිහිටලා තියෙන්නේ කලපුවට මීටර් 100 – 150 ක් දුරින්. ඒ වගේම මුහුදු මට්ටමටත් යටට යනකල් හාරලා තමයි ඔය කුණු දාන්නේ. එයින් කලපුවට බලපෑමක් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්. මේ කලපුව කියන්නේ සෙල්ලමක් නෙවෙයිනේ. මේකෙන් කී දෙනෙක් ජීවත්වෙනවද? ඔය කියන කසළ ව්‍යාපෘතියෙන් පරිසරයට බලපෑමක් නැහැ කියලා මහා ලොකු විශේෂඥයින් කිව්වට පහුගිය කාලේ එක වැස්සට පස් සෝදාගෙන ඇවිත් මුළු කලපුවම රතු පාට වුණා. දැනටමත් ඔය කුණු ගොඩෙන් අපට ඉන්න හිටින්න බැරි තරම් ගඳක් ගහනවා. මිනිස්සුන්ට නිතරම ඔළුව කැක්කුම, පොඩි ළමයි වමනේ දානවා. හැමෝම නිතර දෙවේලේ ලෙඩ වෙනවා”.

මෙවන් පසුබිමක් තුල නැවතත් මෙම ව්‍යාපෘතියට කසළ බැහැරලීමට ආණ්ඩුව කටයුතු කිරීමෙන් මෙම ගම්වැසියන්ගේ ජීවිත වලට අත්වන අවාසනාවන්ත ඉරණම පිළිබඳව ආණ්ඩුව වගකීම භාර ගන්නේ කෙසේද යන්න උභතෝකෝටිකයකි.

එසේම වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග අරුවක්කාලු ව්‍යාපෘතියේ පරිපාලනය සම්බන්ධයෙන් ගනු ලැබූ ඇතැම් අත්තනෝමතික සහ අමනෝඥ තීරණ හේතුවෙන් මෙම ව්‍යාපෘතියේ අනාගතය තවදුරටත් අඳුරු වියහැකි බව ක්ෂේත්‍රයේ විද්වතුන්ද මත පළකරති. මේ පිළිබඳව ලියුම්කරු සිදුකළ විමසීමකදී මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු සමාජ විශේෂඥ සහ කසළ කළමනාකරණය සම්බන්ධ උපදේශක නිමල් ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කලේ අරුවක්කාලු ව්‍යාපෘතිය ලොව දියුණුම තාක්ෂණය භාවිතා කරමින් ඉතා උසස් නිමාවකින් යුතුව සිදුකිරීමට සැලසුම් කෙරුණද වර්ථමාන ආණ්ඩුව විසින් ගනු ලැබූ ඇතැම් අධූරදර්ෂී තීරණ හේතුවෙන් එහි අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට ඇද වැටී ඇති බවයි. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කරන සීමාසහිත චයිනා හාබර් ඉංජිනියරින් සමාගමට සහ නිරිත දිග නාගරික ඉංජිනේරු සහ පර්‌යේෂණ ආයතනයට උපදේශකත්වය සැපයීම සඳහා දේශීය සහ විදේශීය ආයතන දෙකක් සමග ගිවිසුම්ගතවී ඇතත් මේ වනවිට එම ගිවිසුම් දෙකම අවලංගු කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ. මෙම ව්‍යාපෘතිය සඳහා විදේශයන්ගේ උසස් තාක්ෂණික දැනුම ලබාගැනීම සඳහා Dohwa Engineering Company Limited නම් දකුණු කොරියානු සමාගමේ උපදෙස් ලබාගත් අතර එම දැනුම උකහාගෙන ඉදිරි ව්‍යාපෘති සඳහා යොදාගැනීමට හැකි දේශීය විශේෂඥයින් නිර්මාණය කිරීමේ අරමුණින් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයද දේශීය ආයතනයක් ලෙස ඊට දායක කරගනු ලැබිණි. වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග මුල් ආයතනයේ උපදේශක කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට කටයුතු කෙරුණු අතර මේ වනවිට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයද උපදේශකත්වයෙන් ඉවත්කර ඇතිබව ප්‍රේමතිලක මහතා පවසයි. ඒ අනුව මෙම කසළ ව්‍යාපෘතියට සම්බන්ධ දැනට ඉතිරිව ඇති ඉදිකිරීම් සිදුකෙරෙන්නේ ඒ සම්බන්ධ කිසිඳු දැනුමක් නොමැති සාමාන්‍ය ඉංජිනේරුවන් කිහිපදෙනෙකුගේ අධීක්ෂණය යටතේය.

නිමල් ප්‍රේමතිලක – මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු සමාජ විශේෂඥ

තවද මේ ගෙවී යමින් පවතින්නේ සනීපාරක්ෂක කසල රඳවනයේ අපජල ප්‍රතිකාර පද්ධතියේ පෙරහන් සවිකරන අවධිය වන අතර දැනටමත් සවි කර ඇති එම පෙරහන් වල ක්‍රියාකාරීත්වය පරික්ෂා කිරීම සඳහා කිසිම කසල කළමනාකරණ විශේෂඥයකු එම ස්ථානයේ නොමැති පසුබිමක කොන්ත්‍රාත්කරු විසින් තම හිතු මනාපයේ සිදුකරන මෙම කාර්යන් පිළිබඳව වගකීම දරන්නේ කවුරුන්ද යන්න ගැටළුවකි. එසේම දුගඳ හැමීම හේතුවෙන් ආශ්‍රිත ප්‍රජාව පීඩාවට පත්ව සිටියදී එම තත්ත්වය පාලනය සඳහා ලෝකයේ දියුණු රටවල සිදුකෙරෙන ආකාරයෙන් එන්සයිම භාවිතය සිදුකල යුතු වුවත් ඒ වෙනුවට ප්‍රමිතියකින් තොර ඉතා අඩු මිල ක්ෂුද්‍රජීවී දියර (Effective microorganism activated solution) යෙදීම සිදුකරන්නේ ජනතාව බිල්ලටදී හෝ කොන්ත්‍රාත්කරුට වාසි ලබාදීම පිණිසද නැතිනම් එවිට මතුවන ජනතා විරෝධය හමුවේ මෙම ව්‍යාපෘතිය වසා දමා තවත් කසල ව්‍යාපෘතියක් මගින් මුදල් සුරා කෑමටද යන්න විමසිය යුතුව ඇත.

ඒ මතුද නොව දැනට සියයට හතළිහකින් පමණ වැඩ අවසන් වී ඇති කැලණිය කසල හුවමාරු මධ්‍යස්ථානයේ ඉතිරි ඉදිකිරීම් සිදුකිරීමේදීද කිසිම උපදේශකයකු ගේ සේවය නොමැතිව කොන්ත්‍රාත්කරුගේ පමණක් තනි මතයට එය සිදුකිරීමට අවසර දීම තුලින් අනවශ්‍ය මුදල් නාස්තියක් හා නිසි ප්‍රමිතියෙන් තොර කසල හුවමාරු මධ්‍යස්ථානයක් කැලණියේ ඉදිකිරිම මගින් සේරක්කුලියේ ජනතාවට අද විඳින්නට සිදුවී ඇති පිඩාව හෙට කැලණියේ ජනතාවට විඳීමට සිදු නොවෙතැයි කාටනම් කිව හැකිද? ජනතාවට වඩාත් සංවේදී මෙවැනි කසළ කළමනාකරණ ව්‍යාපෘතියක්, ලෝකයේ අසාදුගත කර ඇති, සනීපාරක්ෂක කසල රඳවන ඉදිකිරීමට පෙර අත්දැකීම් නැති සමාගමකින් උපදේශකයෙකු පවා නොමැතිව, මේ පිළිබඳව විශේෂඥ දැනුමක් නැති අමාත්‍යාංශයේ කාර්යමණ්ඩලයක් මගින් ඉදි කරන ලොව එකම රට ශ්‍රී ලංකාව වීමට ඉඩ ඇත. එබැවින් මෙය ජනතාවට ‘නංගි පෙන්වා වයසක ආච්චී කසාද බන්දා දුන්නා’ වැනි ව්‍යාපෘතියක් වනු නොඅනුමානය.

මෙම කසළ බිම් පිරවුමට කසළ බැහැර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කලද මෙහෙයුම් හා ක්‍රියාකාරීත්වයට අදාලව මෙතෙක් ආයතනයක් වත් පත් කිරීමට රජය කටයුතුකර නැත. ඒ අනුව මෙහි සැබෑ අරමුණ කසළ කළමනාකරණයද චීනුන් සමග ‘මෙගා ඩිල්’ දැමිල්ලක්ද යන්නද විමසිය යුතුව ඇත. ඉකුත් සමයේ දිරාපත්වන ද්‍රව්‍ය වෙන්කරන කොම්පෝස්ට් පොහොර නිශ්පාදනයෙන් පසුව ඉතිරිවන කසළ පමණක් බිම් පිරවුම වෙත යොමු කෙරුණද මේ වනවිට කොළඹ නගරයේ කසළ වර්ගීකරණ නිසි පරිදි සිදු නොවේ. ඒ නිසා වර්ගීකරණය නොකළ කසළ සම්පූර්ණ තොගයම අරුවක්කාලුවට බැහැර කිරීම සිදුකළහොත් අනපේක්ෂිත ලෙස ලීචෙට් ජනනය වීමෙන් ඒවා කළමනාකරණ කිරීමට නොහැකි වීමෙන් සහ වසර තිහක් සඳහා සැලසුම්කෙරුණු මෙම කසළ බිම් පිරවුම ඉතා කෙටි කලෙකින් පිරීයාමෙන්ද ඉදිරියේදී ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණ අභියෝග රැසකට මුහුණදීම නොවැලැක්විය හැකි බව අවසන් වශයෙන් අවධාරණයෙන් ලියා තබනු කැමැත්තෙමු.
(විශේෂ ස්තූතිය වේස්ට් ඇක්ෂන් ලංකා (WALK) සංවිධානයට )
සටහන සහ ඡායාරූප
-පූර්ණ රවිකාන්ත

Leave A Reply

Your email address will not be published.

1 × one =