සදා ලෝක පූජිත ව්ලැදිමීර් පූටින්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට වර්ෂ 2036 වන තෙක් සිය පාලනය ගෙනයෑම සඳහා එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුකරන ලද ඡන්ද විමසීම අවසන් වී තිබෙනවා.‍ කොරෝනා වසංගතය මධ්‍යයේ එකවර සෙනඟ එක්රොක් වීම අඩුකිරීමට හා ඡන්ද ප්‍රකාශ කිරීම ඉහළ නැංවීමට රටපුරා සතියක කාලයක් පුරා පැවති ඡන්දය පැවතුණා.

මේ අනුව ජනාධිපති පූටින්ගේ පාලන කාලය නැවත බිංදුවෙන් පටන් ගැනීමට නියමිතයි. 67 හැවිරිදි ජනාධිපතිවරයාගෙ වර්තමාන පාලන කාලය නිමා වීමට නියමිතව ඇත්තේ 2024 දී. නව ව්‍යවස්ථාව අනුව එදින සිට වසර 6 වාර දෙකක් පූටින්ට රුසියාවේ පාලන බලය හිමිවෙනවා. ඒ අනුව ඔහුගේ පාලනය නිමාවීමට නියමිත වන්නේ 2036 දී. සෝවියට් දේශයේ නිර්මාතෘවරයා වූ වී.අයි. ලෙනින්ගේ අභාවයෙන් පසු බලයට පැමිණි පසු ජෝෂප් ස්ටාලින් වසර 30ක් එක දිගට එරට පාලනය කළා. පවතින තත්ත්වය අනුවනම් පුටින් මහතා ස්ටාලින්ගේ වාර්තාව බිඳ දැමීමට නියමිතයි.

හිටපු කේජීබී නිලධාරියකු වූ පූටින් වසර 20ක් තිස්සේ දැවැන්ත රුසියානු දේශය පාලනය කරනු ලබනවා. පවත්නා නීතිය අනුව එකවර වාර දෙකකට වඩා ජනාධිපති ධූරය දැරිය නොහැකි හෙයින් වසර 2012 දී පූටින් තම විශ්වාසවන්තයෙකු වූ දිමිත්‍රි මෙද්වෙදෙව්ට ජනාධිපති වීමට ඉඩ හරිනවා.  දිමිත්‍රි යටතේ වසර 6ක් අගමැති ධූරය දැරුවත් ඒ යුගයේද රුසියානු පාලනයේ තීරණ ගත්තේ පූටින් බව නොරහසක්.  2012 දී ව්‍යවස්ථා බාධාව නිමා වු වහාම පූටින් නැවත රුසියාවේ සුක්කානම අතට ගන්නවා.

ජනමත විචාරණයට සතියකට පෙර රුසියානු පාර්ලිමේන්තුව විසින් මෙම සංශෝධන අනුමත කළා.අන්තර්ජාතික සම්මතයන්ට වඩා රුසියානු නීතියට ප්‍රමුඛත්වය ලැබී ඇති මෙම සංශෝධන තුළට සමලිංගික විවාහ තහනම් කිරීම හා දේව විස්වාසය මූලික වටිනාකමක් සේ සැළකීමද ඇතුළත් වෙනවා. අනෙකුත් සංශෝධන තුළින් පාර්ලිමේන්තු ක්‍රියාවලිය ශක්තිමත් කර ඇතත් ඒවායින්ද ඉලක්ක කර ඇත්තේ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමයි.

එකදිගට තුන් වතාවක් රාජ්‍ය නායකයා විසින් අමාත්‍යවරයෙකු ලෙස යෝජනා කළ තැනැත්තෙකුගේ නමක් පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කළහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් ජනාධිපතිවරයාට හැකියි. ඒ අනුව පූටින්ගේ අතිජාත දීර්ඝකාලීන ඇමති කට්ටුවටත් භිය වීමට හේතුවක් නැහැ.

කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කළ සෝවියට් දේශය නම් දැවැන්ත රාජ්‍ය පද්ධතිය 1990දී බිඳ වැටුණා. මොස්කව්හි නගරාධිපතිවරයා වූ බොරිස් යෙල්ට්සින් රුසියාවේ පාලනය ඩැහැගත්තා. නමුත් නොසන්සුන් රුසියාව ස්ථාවර කිරීමට ඔහුට බැරි වුණා. පූටින් යෙල්ට්සින්ගේ දෙවැනියා වුණේ අහම්බෙන්.යෙල්ට්සින් 1999දී කලකින් පාලන බලය අතහැරියා. එතැන් සිය රුසියාවේ බලය හිමිවූයේ පූටින්ට.
කඩාවැටී තිබූ ලෝක බලවතාගේ අභිමානය නැවත ඉස්මතුකර රුසියාව ස්ථාවර කිරීමේ කීර්තිය නිතැතින්ම ඔහු හිමිකර ගත්තා. සෝවියට් යුගයේ හා ඉන් පසුව පැමිණි යෙල්ට්සින් යුගයේ මතකයන් සහිත රුසියානු වැඩිහිටියන්ගෙන් සියයට 59ක් පමණ පූටින් මහතා තම ජනාධිපතිවරයා ලෙස සිටිනු දැකීමට කැමති බව වාර්තා වෙනවා.

චීන ජනාධිපති ෂී ජිං පිං ද මේ වන විට මියයන තෙක් එරට ජනාධිපති ලෙස කටයුතු කිරීමට නියමිතයි.රුසියාවේ ව්ලැදිමීර් පූටින්ද ඒ පාරේම යමින් සිටිනවා. ඔහු ක්‍රෙම්ලිනය අතහැර යන දිනය ජනතා කැමත්තටත් වඩා දෙවියන්ගේ කැමැත්ත මතම සිදුවනු ඇති.
-ශානක ලියනගම

Leave A Reply

Your email address will not be published.

nineteen + 7 =