සිබිල් වෙත්තසිංහ : ළමා චිත්‍ර ශිල්පිනියකට ලඝු කළ නොහැකි මහරු සිත්තම

සිබිල් වෙත්තසිංහ කියන නම ඇහෙන හැම මොහොතක ම හිතට නැගෙන සංඥාවක් තියෙනවා. පණ ලබන රේඛා කන්දරාවක් හිතුවක්කාර කතන්දරයක එතිලා සිබිල්ට ම අනන්‍ය වුණු වර්ණ සංකලනයක් එක්ක මැවිලා පෙනෙනවා. 1990 වගේ කාලේ සමුද්‍ර ඛාදනය පිළිබඳව පාසල්වල ට බෙදා හැරපු පෝස්ටර් එකේ තිබුණේ මූදු වෙරළක සෙල්ලම් වැලි මාලිගා හදන කුඩා දරුවෙක් සහ දැරියක්. පෝස්ටරයේ ඇගේ බුහුටි අකුරෙන් ම ලියවිලා තිබුණා ‘මුහුදු කෑම වළක්වන්න – රන් වැලි ටික නොගෙන ඉන්න’ කියලා. ළමයින් හරහා වැඩිහිටියන් ට පාඩම් උගන්වන්න මේ රටේ සිබිල් වෙත්තසිංහ තරම් සූක්ෂ්ම කලාකාරියක් තව හිටිය ද කියලා හිතෙන තරමට ඇයගේ සමහර නිර්මාණවල යටිපෙළ ගැඹුරුයි. ඒ අතරින් මම අදටත් ආසා කරන කතාව තමයි ‘තඹයා’.

තඹයා කියන්නේ බින්දු අප්පුගේ හීලෑ ගොනා. කොයිතරම් හීලෑ ද කියනවා නම් කරත්තෙන් ලෙහපු වෙලාවයට කොහේවත් දුවන්නේ නැති තරමට හීලෑ ගොනෙක්. දවසක් පරණපාල මහත්තයා එයාගේ කාර් එක වෙරළු ගහ යට නවත්තලා සිල්ලර කඩේට යනවා. ඒක දකින තඹයාට හිතෙනවා හැමදාම කරත්තයක් දක්කගෙන ඉන්න එකේ ඉඳලා හිටලා හරි කාර් එකක් එළවලා බැලුවා නම් හොඳයිනේ කියලා. ඔන්න ඉතිං තඹයා ගිහිං කාර් එකට නැගලා, ඒක එළවගෙන ටවුන් එකේ එහේ මෙහේ යනවා. කාර් එකක් එළවන ගොනෙක් දැකලා සෙනඟ පුදුම වෙලා ඉක්මණට පොලිසියට කියනවා. තඹයාට කාර් එකේම පොලිසියට යන්න වෙනවා. ඒ යනකොට පරණපාල මහත්තයයි බින්දු අප්පුයි දෙන්නම පොලිසියේ ඉන්නවා. ‘මෙන්න මගේ කාර් එක’ කියලා පරණපාල මහත්තයා සතුටු වෙනකොට ‘මෙන්න මගේ තඹයා’ කියලා බින්දු අප්පු සතුටු වෙනවා. බින්දු අප්පු තඹයා කාර් පැද්ද එක ගැන කේන්ති ගන්නේ නෑ . ඒ විතරක් නෙමෙයි. ළඟ තිබුණ අරලිය ගහෙන් මල් මාලයකුත් හදලා තඹයගේ බෙල්ලට දාලා හැමෝම සතුටෙන් ගෙදර යනවා.

හීලෑ ගොනෙක් ට වුණත් හැමදාම ඇදගෙන යන කරත්තය ඇරුණාම කාර් එකක් එළවන්න හිතෙන්න පුළුවන් බව ‘තඹයා’ කතාව ඇසුරෙන් ළමයින්ට කියාදෙන සිබිල් වෙත්තසිංහ නම් ප්‍රතිභාසම්පන්න චිත්‍ර ශිල්පිනිය ඒ හරහා වැඩිහිටියන්ට ආලෝකය සපයන කවුළු කීපයක් විවර කරනවා. තමන්ගේ දරුවා දොස්තර , ඉංජිනේරු සිහින ඇතුළේ සිර කරන වැඩිහිටියන් ට ‘තඹයා’ කතාව ළමා මට්ටමෙන් මිදිලා කියවන්න පුළුවන් වුණා ද කියන එක පිළිතුරක් නොලැබෙන ප්‍රශ්නයක්. 1994 වසරේ දී සුප්‍රකට Funny Boy නවකතාව ලියන ලංකා – කැනේඩියානු ලේඛක ශ්‍යාම් සෙල්වදොරේ එහි පිදුම ලියන්නේ මේ විදියට.

“To my parents, Christine and David Selvadurai, for believing that pigs can fly.”

“ඌරන් ට පියඹන්නට හැකි බව විශ්වාස කළාට ; මගේ ආදරණීය මව්පියන් වෙත”

ඌරන්ට පියාඹන්න හැකි බව විශ්වාස කරන තැනට සමාජාවබෝධය ඇති කරගැනීම දෙවනි කාරණයක්. නමුත් තඹයාට කාර් එකක් පදින්න හිතෙන එක තේරුම් ගත්තොත් තමන්ගේ දරුවන් ව වට්ටෝරුගත අධ්‍යාපන හීනවල ප්‍රාණ ඇපකරුවන් කරගන්න එක නවතියි කියලා හිතනවා. දොස්තර , ඉංජිනේරු , නීතිඥ හීනයක් නොපෙනුණ , උසස් පෙළට කලා විෂයය ධාරාව සහ සිංහල විෂයය තෝරගන්න අභ්‍යන්තර අරගලයක් කරලා මහ රෑ සහතික ටිකත් අරගෙන ගෙදරින් එළියට බැහැපු ශිෂ්‍යයෙක් අදටත් ‘තඹයා’ පොතේ පිටපත් තුන හතරක් තමන්ගේ පොත් ගොන්නේ රකිනවා. ගෙදරට එන නෑ හිතවතුන්ට ඒවා තෑගි කරලා ආයෙමත් අලුතෙන් පිටපත් කීපයක් අරගෙන එනවා. ‘තඹයා’ ව හොයලා දුන්න සිබිල් වෙත්තසිංහ ඇය විශ්වාස කළ පරිදි ම අඹ ගහක පවා සිටිය හැකි දේවතාවෙක් වෙලා ළමා ලෝකේ හීන වලට බැලුම්ලමින් ඒවා ආරක්ෂා කරනවායැයි ඔහු තරයේ විශ්වාස කරනවා.

රසවතී ! ඔබට සුබ ගමන්.

– සහන් කසීර වික්‍රමසිංහ

Leave A Reply

Your email address will not be published.

fifteen − 6 =