සිතුවමක් සේ මතකයේ රැඳී ඇය යන්න ගිහින්

 

පුංචි දරුවන්⁣ට පොත් ගැන මුලින්ම ආස හිතෙන්⁣නෙ ඒවායෙ තියෙන සිතුවම් නිසා. අකුරු වලට වඩා ළමා සිත ඇද ගන්නෙ පාට පාට සිතුවම්. තමන් විසින්ම ගොඩනගාගත් අතිශය සුන්දර සිතුවිලි වල ඉන්න කතා කරන සත්තු සහ ගස්වැල්, දඟ පුංචි පැංචියො, එයාලා ආස කරන ⁣සෙල්ලම් පුංචි පුංචි කතා පොත් ඇතුළෙ ජීවමාන වෙනකොට දරුවන්ගේ කියවීමේ ආසාව වැඩි වෙනවා. ඒ වගේම දරුවන්ගේ නොකිළිටි මනසට මිනිසුන්ට වගේම පරිසරයටත් ආදරය කරන්න උගන්වන්න ඒ පොත් වලට පුළුවන්. ඒ හැකියාව හැම ළමා ග්‍රන්ථ කතුවරයන්ටම/ කතුවරියන්ටම නැහැ. එවන් වූ සුන්දර ළමා මනස නිවැරදිව කියවූ ඇය අවුරුදු 92ක් පරම්පරා ගණනාවක දූ දරුවන්ට ආදරණීය ළමා කාලයක මතක සටහන් ඉතිරි කර යන්න ගිහින්….

1927 වර්ෂයේ ජනවාරි මස 31 වන දින ගිංතොටදී උපත ලද ඇයට සහ ඇයගේ ස්වාමි පුරුෂයා වූ ධර්මපාල වෙත්තසිංහ මහතාට දරුවන් සිව් දෙනෙකි. කුඩ හොරා, බළල් රටට ආ පුදුම අමුත්තෝ, දුවන රැවුල, පිනුම් සහ බිරුම්, කුසුමලතා, රසවතී, උඩගිය බබා, මඟුල් ගෙදර බත් නැතෝ, සූත්තර පුංචා, The child in me, How the devil run away, The Brass pot, වැනි ළමා කතා රැසක් ලියා ඇති ඈ විසින් රචිත බොහෝ කෘති ලොව පුරා භාෂා ගණනාවකට පරිවර්තනය වී ඇත. එමෙන්ම ඈ විසින් රචිත මැටි ගෙදර ළමයි ළමා ටෙලි නාට්‍ය අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට අදටද මතක බවට විවාදයක් නැත. මෑතකදී ඈ ලෝක වාර්තාවක් පිහිටුවණු ලැබුවේ කුඩා දරුවන් රැසක් එක් කරමින් වැඩිම අවසානයන් ගණනක් සහිත ළමා කතාව නිර්මාණය කරමිනි.

සිතුවමින් හා කතාවෙන් පරම්පරා ගණනාවක් ලොවපුරා දරුවන්ගේ ළමා ⁣ලෝකය වර්ණවත් කළ ආදරණීය සිබිල් නැන්දේ… ඔබට සුබ ගමන්
-ශානිකා හංසිනී

Leave A Reply

Your email address will not be published.

15 + 7 =