බොන්න තව මන්ද ප්‍රමාදේ?

මගේ අඩ සියවසක් තරම් වන නාට්‍ය ජීවිතයේ වේදිකාව පිටුපස, පසු වේදිකාවේ Back Stage රසවත් අත්දැකීම්, කතාන්දර එමටයි. ඒත් ඒ හැම එකක්ම ලියන්න කියන්නත් අමාරුයි. ඒ වගේම ඒවා ඔබට ඒ තරම්ම වැදගත් නොවෙන්නත් පුළුවන්. ඒත් ඉඳහිට හෝ ඔබට දකින්නට නොලැබුණු අසන්නට නොලැබුණු පසු වේදිකාවේ රසවත් කතාවක් දෙකක් මේ සතියේ සිට ඔබ වෙනුවෙන් සටහන් කරන්නට අවසර.

ටෝනි රණසිංහ නම් වූ ආදරණීය කලාකරුවා අපගෙන් වියෝ වන්නට පෙර දවසක, ස්වාධීන රූපවාහිනියෙන් සිහින හතක් චිත්‍රපටය තිරගත වුණා දවල් කාලයක. සිහින හතක් ටෝනි රඟපෑ පස්වන චිත්‍රපටය. ගම්පෙරළිය (1963), ගැටවරයෝ (1964), සැකය (1965), සැනසුම කොතැනද (1966 පෙබරවාරි), සිහින හතක් (1966 මැයි).

ගම්පෙරළියේ බලදාසගේ පුංචි චරිතයත්, ගැටවරයෝ, සැනසුම කොතැනද රංගනත් නරඹලා තිබුණු මගේ හිතේ ටෝනි පැලපදියම් වුණේ අපූරු නළුවෙක් විදියට. ගැටවරයෝ, සැකය, සැනසුම කොතැනද රංගනවලින් පස්සේ ටෝනිව ප්‍රධාන නළු භූමිකාවක් ලැබෙන්නේ සිහින හතක් චිත්‍රපටයේදී. ඔහුට පෙම් කරන ඥාති පෙම්වතිය සන්ධ්‍යා කුමාරි, ඔහුගේ ආදරය දිනාගෙන ඔහු සමඟ විවාහ වන ශ්‍රීමා අබේරත්න සමඟ ටෝනි රඟපෑ ජවනිකා විශේෂයෙන් සංගීතමය නිරූපණත්, සිහින හතක් ගීතත්, අපේ මතකයේ ඇඳුණේ ඒවායේ රූපමය හැඩරුවත්, ගීත ගායනාවේ නැවුම් මිහිරත් සංගීතයේ තනුවේ ගුණයත් සිතින් මැකී නොයන ලෙස සටහන් වෙමින්.

ඒ අතරිනුත්, නාරද දිසාසේකර, සුජාතා පෙරේරා සමඟ ගායනා කළ පුෂ්ප මකරන්දය මාගේ, මිල්ටන් පෙරේරා, සුජාතා පෙරේරා සමඟ ගැයූ සුපුන් සඳක් නැඟීලා, සුජාතා පෙරේරා ගැයූ රන්තරු පුන් සඳ ගිලුණාදෝ වගේ ගීත එදත් අදත් හැමදාමටත් අපේ හිතේ, සවනේ රැඳී තියෙන ගීත. නිහාල් ඒ. ජයසිංහ ලියූ ගීත සංගීතවත් කළේ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න. අද පසු වේදිකාවේ මිහිරි මතකයට මුල් වෙන්නේ සිහින හතක් චිත්‍රපටයේ පුෂ්ප මකරන්දය මාගේ, භෘංග මදිරා රස ඕඝේ, බොන්න තව මන්ද ප්‍රමාදේ වෑහේ රසේ නම් ගීතය.

හැත්තෑවේ දශකයේ මහාචාර්ය සරච්චන්ද්‍ර මනමේ, සිංහබාහු එහෙමත් නැත්නම් අසූ ගණන්වල කේ. බී. හේරත්ගේ මායාදේවි, ප්‍රසන්න විතානගේ පරිවර්තනය කළ නාට්‍ය පිටපත මනෝගේ පුත්‍ර සමාගම නාට්‍ය චාරිකාවලදී බස් රථයේ නොවැරැදීම ඇසෙන ගීතයක් වුණේ පුෂ්ප මකරන්දය මාගේ. නාට්‍ය බස් රියේ ගායන කණ්ඩායමක් ඉන්නවා ගමනේ මුල් කොටසේදීත්, නාට්‍යය අවසන් වෙලා රාත්‍රී කොළඹ එන ගමනේදිත් ගීත ගයන. මනමේ, සිංහබාහුවල නම් ටෙරන්ස් රණසිංහ, මාලිනී රණසිංහ, එඩ්මන්ඩ් විජේසිංහ, ධම්ම ජාගොඩ, ජයලත් මනෝරත්න, නිශ්ශංක දිද්දෙණිය, දන්තුරේ බණ්ඩාර, ජය ශ්‍රී චන්ද්‍රජිත් හා තවත් පිරිස්. කොළඹින් පිටත් වෙලා නුවර යන නාට්‍ය බස් එකකදි හරි මාතර, ගාල්ල ගමනකදී හරි කෑගල්ල, අලුත්ගම කිට්ටු වෙන කොට නොවැරැදීම ඇහෙන ගීතය තමයි සිහින හතක් හි පුෂ්ප මකරන්දය මාගේ ගීතය.

ඒ ගීතය ගායනාවට මුල් වෙන්නේ අපේ හිතාදර මනෝ. මනෝරත්න, ජයලත් මනෝරත්න. රුක්මණී දේවිගේ ගීත මාලිනී අක්කාගෙන්. දන්තුරේ කියන්නේ අමරදේවගේ සිංදු. දිද්දෙණිය, ජය ශ්‍රී නාඩගම් සිංදු, නරිබෑනා, පද්මාවතී, ගජමන් පුවතෙ සිංදු. ගීත රස ගුලාවක ඉන්න කොට මනෝ පටන් ගන්නවා පුෂ්ප මකරන්දය කියන්න. සර්පිනාව වාදනය කරන්නේ කේ. එච්. විමලසේන. මද්දලේ සිරිසේන සූරියආරච්චි. මමෝ ලස්සනට පුෂ්ප මකරන්දය පටන් ගන්නවා. පුෂ්ප මකරන්දය මාගේ, භෘංග මදිරා රස ඕඝේ, බොන්න තව මන්ද ප්‍රමාදේ, බොන්න තව මන්ද ප්‍රමාදේ… ගීතය ප්‍රතිවාදනය වෙන්න පටන් ගන්නවා. බොන්න තව මන්ද ප්‍රමාදේ මන්ද ප්‍රමාදේ, කට්ටියට තේරෙනවා මනෝගෙ සිංදුවේ තැටිය එක තැන ප්‍රතිවාදනය වෙන්නෙ මොකද කියලා. බොන්න තව මන්ද ප්‍රමාදේ? බොන කණ්ඩායම හැට් කලෙක්ෂන් දානවා. ඔන්න ඊට පස්සේ තැටිය ආපහු වාදනය වෙනවා. බොන්න තව මන්ද ප්‍රමාදේ වෑහේ රසේ. වේදිකාව මත රංගනය තරම්ම, පසු වේදිකාවේ රංගනත් කතාබහත් ජීවිතයට එකතු කරන සතුට කියා නිම කරන්න බැහැ.

බුද්ධදාස ගලප්පත්ති
(හරියටම අදට වසර පහකට පෙර ලියන ලද ලිපියක්)

Leave A Reply

Your email address will not be published.

eighteen − 8 =