අරන්තලාව භික්ෂු ඝාතනය ගැන පරීක්ෂණයක් ඉල්ලා පෙත්සමක්

1987 වසරේ මුළු රටම කම්පාවට පත් කරමින් අරන්තලාව භික්ෂූන් වහන්සේ 31 නමක් ඝාතනය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින්ට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

වසර 33 කට පසු මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ අරන්තලාව ත්‍රස්ත ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් ආඳාඋල්පත බුද්ධසාර හිමියන් විසිනි.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස, නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ යන අය නම් කර තිබේ.

1987 වසරේ ජුනි මස 02 වනදා දෙමළ කොටි කැරලිකරුවන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේ 31 නමක් සහ සිවිල් වැසියන් පිරිසක් ඝාතනයට ලක් වූ බව බුද්ධසාර හිමියෝ සිය පෙත්සමේ සඳහන් කරති.

මෙම ප්‍රහාරයට සම්බන්ධ බොහෝ දෙනෙක් තවමත් ජීවතුන් අතර සිටින බව පවසන පෙත්සම්කාර හිමියන් ඔවුන් සම්බන්ධයෙන් වසර 33 ක් ගතවී ඇතත් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් පෙන්වා දෙති.
උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ, මෙම සිද්ධියට වගකිවයුතු, දැනට ජීවතුන් අතර සිටින පුද්ගලයින්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසය.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදු වූ මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් කෝටි 2ක වන්දියක් රජයෙන් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද උන්වහන්සේ වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

මුලාශ්‍ර bbc

Leave A Reply

Your email address will not be published.

three × 4 =