හොරොයින් ජාවාරමට නාකොටික් නිලධාරීන් සමග ප්‍රසන්නගේ ගොලයෙක් කොටුවෙයි

 

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනා සමග පසුගිය 27 වනදා මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිවිල් පුද්ගලයෙකු අත් අඩංගුවට පත්වූ බවට මාධ්‍ය වාර්තා පලවූ අතර එම සිවිල් පුද්ගලයා වත්මන් රාජපක්ෂ ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සමීපතමයෙකු බව වාර්තා වේ.

නමින් ජයන්ත මල්ලව ආරච්චි වන ඔහු ප්‍රසන්න රණතුංගගේ මාධ්‍ය ලේකම් රුක්ෂාන් මල්ලව ආරච්චිගේ බාල සහෝදරයා බවද වාර්තා වේ.

මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න පවසයි.

අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ දහස් ගණනක් පිටතට විකුණා ඇති බවට ලද තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (Police Narcotics Bureau) සතු භාණ්ඩ ගබඩාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබා ඇතැයි වාර්තා වේ.

මෙසේ සීල් තබා ඇත්තේ මහා පරිමාණ වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා හෙරොයින් ගබඩා කර තිබූ නඩු භාණ්ඩ කාමරය බවද පවසයි.

මේ අතර  මෙම ගබඩාවේ තොග ගණනය කිරීමක් අද (29) සහ හෙට (30) දිනයේ දැඩි රැකවරණ මැද කිරීමට ද ආරක්ෂක අමාත්‍යාංශය නියෝග කර ඇතැයි වාර්තා වේ.

කාලයක් තිස්සේ පොලිස් නාකොටික් අංශයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ කුඩු තොගවලට වෙනත් රසායන ද්‍රව්‍ය හා පිටි කලවම් කර රස පරීක්ෂක වාර්තා සඳහා සාන්ද්‍රණ වෙනස් කරවා නියම තත්ත්වයේ කුඩු තොග එම ගබඩාවෙන් හොරෙන් විකුණා ඇතැයි දැනට කරන විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බවද පැවසේ.

ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මොවුන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සහ බෙදාහැරීමේ කටයුතු සඳහා ජාවාරම්කරුවන්ට සහාය දී ඇති බවත් ඒ හරහා ඔවුන් විශාල මුදලක් උපයාගෙන විශාල දේපළ ප්‍රමාණයක්ද මිලදීගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීමට පෙර දිනක මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ විහාරස්ථානයක් මුල්කරගෙන ප්‍රසන්න රණතුංග විසින් සිය මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් ලෙස මත්ද්‍රව්‍ය විරෝධී සංවිධානයක් පිහිටුවීමට යැයි පවසා සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාව ආරම්භයේදීම එහි පැමිණ සිටි පිරිස ජයන්ත මල්ලව ආරච්චි සහ රුක්ෂාන් මල්ලව ආරච්චි පිළිබඳව සඳහන් කරමින් ප්‍රසන්න රණතුංග ව දැඩි ලෙස දෝශාරෝපනයට ලක් කර ඇත.

එහිදී එම සාකච්ඡාව කඩාකප්පල් වීම හේතුවෙන් ඉන් පිටව යාමට ඔහුට සිදුව තිබේ.

ඒ අතර කාලෙය් හෙරොයින් ජාවාරමට අත්අඩංගුවට ගත් පුද්ගයෙකු මගින් ලැබුණු හෝඩුවාවක් මත මෙම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සිව්දෙනා සහ ඇමති ප්‍රරසන්න රණතුංගගේ ගෝලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇමතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අයකුගේ සොයුරකු බව අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ කාර්යාලයේ නිලධාරියකු මාධ්‍ය වෙත සනාත කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය මාධ්‍ය වෙත වාර්තාවීම වැලැක්වීම සඳහා ප්‍රසන්න රණතුංග පාර්ශවයෙන් මෙහෙයුමක්ද ක්‍රියාත්මක වි ඇති නමුත් එය සාර්ථක වී නැත.

Leave A Reply

Your email address will not be published.

seventeen − four =