“මේ එන්නේ විදුලි පුටුව චිත්‍රපටයේ දෙවන කොටසයි”

 

“දැන් අගමැති ජාතිය අමතලා විශේෂ ප්‍රකාශ කරනවා. මැතිවරණ නීතිය අනුව එහෙම පුළුවන්ද?. මේ එන්නේ විදුලි පුටුව චිත්‍රපටයේ දෙවන කොටසයි. රාජපක්‍ෂවරුන්ගේ කෝකටත් තෛලය කුමන්ත්‍රණ තමයි. මේ ගොල්ලෝ හැම ඡන්දයක් කිට්ටුවම කුමන්ත්‍රණ කතා කියනවා.” අද (29) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු සභික බිමල් රත්නායක මෙම අදහස් පළකළේය.

“පරිසරයට ආදරයටද පස් බලපත්‍ර ඉවත් කළේ”
“අද ලංකාවේ මෙතෙක් වනාන්තර ආරක්‍ෂා කිරීමට තිබූ චක්‍රලේඛත් අහෝසි කරන්නයි රාජපක්‍ෂ පාලනය හදන්නේ. ඒක මූලිකවම කරන්නේ එම්.සී.සී. ගිවිසුම ගේන ඇමරිකාව පිනවන්න. ඔවුන්ගේ වුවමනාවටයි. එක පැත්තකින් පස් බලපත්‍ර ඉවත් කරලා මහා විනාශයක් රාජපක්‍ෂලා කරනවා. පරිසරයට ආදරය කරන්න පුළුවන්ද මේ වගේ මිනිස්සුන්ට? රාජපක්‍ෂ, රනිල් හෝ සජිත් පිලේ ඉන්නවද එහෙම පරිසරයට ආදරය කරන මිනිස්සු?.”

“දැන් අගමැති ජාතිය අමතලා විශේෂ ප්‍රකාශ කරනවා. මැතිවරණ නීතිය අනුව එහෙම පුළුවන්ද? ඔහුත් අපේක්‍ෂකයෙක්. ඔහු කියනවා, කරුණගේ ප්‍රකාශය, ක්‍රිකට් ලෝක කුසලාන පාවාදීම වැනි සිල්ලර දේවල් කතා කරන්න එපාලු, ඒවා වැඩක් නැහැලු. ඒව සුළු දේවල්ලු. රටට කීර්තිය ගෙන දුන් ක්‍රීඩකයන් පවා අද මේ අය හෑල්ලුවට ලක්කරනවා. ඒ ගොල්ලන්ගේ පක්‍ෂවල තිබෙන ප්‍රශ්න කොහොමද ජාතික ප්‍රශ්න වෙන්නේ? දැන් කියනවා විදෙස් කුමන්ත්‍රණයක් තියෙනවලු. අපි කියනවා, ජනාධිපති මල්ලිට පුළුවන්නම් අයිය කියපු කුමන්ත්‍රණය මොකක්ද කියලා රටට හෙළිකරන්න කියලා. මේ එන්නේ විදුලි පුටුව චිත්‍රපටයේ දෙවන කොටසයි. රාජපක්‍ෂවරුන්ගේ කෝකටත් තෛලය කුමන්ත්‍රණ තමයි. මේ ගොල්ලෝ හැම ඡන්දයක් කිට්ටුවම කුමන්ත්‍රණ කතා කියනවා. සමහර විට ඡන්ද කිට්ටු කරල ඒ ගොල්ලන්ට වාසිදායක සිදුවීම් රට තුළ කෘත්‍රීමව හදන්න පුළුවන්.”

“පුංචි පුංචි පින්සල් පාරවල්වලින් තමයි ලොකු චිත්‍රය ඇඳෙන්නේ “

“දැන් මහින්ද රාජපක්‍ෂ අගමැති කියනවා, සිල්ලර කාරණා ගැන අවධානය යොමු කරන්න එපාලු. ලොකු චිත්‍රය ගැන අවධානය යොමු කරන්නලු. පුංචි පුංචි පින්සල් පාරවල්වලින් තමයි ලොකු චිත්‍රය ඇඳෙන්නේ. එම්.සී.සී. ගිවිසුම, කොළඹ වරාය ඉන්දියාවට දීම, ඇමරිකාව ළඟ දණ ගැසීම, මහ බැංකු හොරු රැකීම, ඒ හොරුන්ට තනතුරු දීම, මේ තමයි ලොකු චිත්‍රය.”

“විල්පත්තුව ගැන කරපු ඝෝෂාව දැන් කෝ? තව පැත්තකින් සමාජ ක්‍රියාකාරිකයින්, නීතිඥයන් අත්අඩංගුවට ගන්නවා. නිලධාරීන්ට බැන වදිනවා. මේවත් සිල්ලර කාරණාද? තොණ්මන්ගේ මළ ගෙදර, රාජපක්‍ෂ භූමිකාව සිල්ලරද? කරුණා හමුදාවේ 3,000ක් මැරුවා කියල ප්‍රසිද්ධියේ කියන එක සිල්ලරද? පැරණි දූෂිත කැත ලොකු චිත්‍රයම තමයි රාජපක්‍ෂලා මේ අඳිමින් ඉන්නේ. අපි මේ රටේ ජනතාවගෙන් අහනවා, මේ දූෂිත පිල් දෙකට ඇයි තවදුරටත් ඡන්දය දිය යුත්තෙ කියලා. ප්‍රතිපත්තියක් මත කරන දේශපාලනයක් මේ දෙගොල්ලන්ටම තියෙනවද?”

“ඡන්දය දිනලා  ගිවිසුම ගහන්නයි සුදානම “

“එම්.සී.සී. ගිවිසුම ගැන පරීක්‍ෂා කිරීමට ආණ්ඩුව විසින් පත් කළ ගුණරුවන් මහතාගේ කමිටුවම කියනව එම්.සී.සී, ගිවිසුම ගැන අදහස් ගත් අයගෙන් 75%ක්ම ඊට විරුද්ධව ලිඛිත ප්‍රකාශ දුන්නයි කියලා. දැන් ජනාධිපතිවරයා හදනවා නැවත වාරයක් එම ගිවිසුම ගැන ජනතා අදහස් ගන්න. මේ කරන්නේ අගෝස්තු 05 වනකල් කල් මරලා ඡන්දය දිනලා ආපසු මේ ගිවිසුම ගහන්න. මේ බොරුවලට රැවටුණා තවත් මදිද? අපි ජනතාවට කියන්නේ මේ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්‍ෂකයෝ පුළුවන් තරම් දිනවල පාර්ලිමේන්තුවට යවන්න. මේ හොරුන්ව පාර්ලිමේන්තුවෙන් පන්නලා රට බේරාගන්න ඉදිරියට එන්න කියලයි.” යනුවෙන් අදහස් දැක්වීය. මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂ නීතිඥ ලාල් කුමාරපේලි ද අදහස් දක්වන ලදී.

Leave A Reply

Your email address will not be published.

8 − 3 =