වසංගත සමයක ජීවිකාව

හිටිහැටියේම මුළු මහත්  ලෝකයටම ලැබුණේ මාස දෙකහමාරක තුනක පමණ  දිගු නිවාඩුවක්ය.  එසේ වන්නට හේතු වූයේ චීනයෙන් ආරම්භ වූ  කොවිඞ් 19 වෛරසය ලෝකය පුරා ඉතාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම ය.  අප ජීවත් වෙන ලෝකය නැවත යථා තත්ත්වයට පත්වීම වෙනුවෙන්  මිනිසුන් සියල්ලන්ටම පාහේ  තම තමන් කරමින් සිටි කාර්යයන් නවත්වා තමන්ටත්, ලෝකයටත් කෙටි  විවේකයක් දීමට සිදු විය. සමස්ත ලෝකයෙන්ම රෝගීන් ලක්ෂ ගණනින් වාර්තා වෙමින් ද,  ඒ හා නොදෙවැනි පිරිසකගේ ජීවිත උදුරා දමමින් ද වෛරසය බොහෝ දුරක් පැමිණි පසු නැවතත් අපට සාමාන්‍ය ජීවිතයට යාමට දින උදාවෙමින් ඇත. ඒ මාස තුනකටත් ආසන්න කාලයකට පසුය. මේ වන තුරුත් පොදු සමාජයේ  ප්‍රධානතම මාතෘකාව ‘කොවිඞ් 19‘ ය. නමුත්, ‘ලංකා‘ අප මේ තොරතුරු සොයා යන්නේ කොවිඞ් 19 නම්  වෛරසයෙන්ම බැට කෑ තවත් පිරිසකගේ කතාවකි. ඒ තවමත් කිසිවකුගේ අවධානය යොමු නොවූ ලංකාවේ ස්වයං ව්‍යාපාරිකයන් පිළිබඳව ය.

ඇඳිරි නීති සමයේ කිසිදු ව්‍යාපාර කටයුත්තක් සිදු කර ගත නොහැකි වූ සමහරකු තම එදිනෙදා ජීවිතය ගෙවාගෙන ඇත්තේ ව්‍යාපාරයෙන් ඉතිරි කර ගත් සුළු මුදලිනි, ඇතැමුන් හට වෙනත් ව්‍යාපාරයක් සොයා ගැනීමට ද,  තවකෙකුට ඒ වෙනුවෙන් ණය වන්නට ද සිදු වී තිබේ. එසේත් කර ගත නොහැකි වූ පුද්ගලයන්ට රජයෙන් හෝ කිසියම් කණ්ඩායමක් පැමිණ සහන මලු ලබාදෙන තෙක් කුසගින්නේ බලාසිටින්නට සිදු වී ඇත. මේ වන විට නැවත ඔවුන්ගේ සුපුරුදු ව්‍යාපාර ආරම්භ කර ඇතත්, ඔවුන් සියලු දෙනාම තවමත් මුහුණ දෙන්නේ ඉතාමත් දුෂ්කර තත්ත්වයකට ය.

සමහර බඩු ගුල්ලො ගහලා, පුස් කාලා වගේ දේවල් නිසා අයින් කරන්න වුණා

“මාස දෙකහමාරක් තුනක් වගේ කාලයක් අපි කඩවල් වහල තිබුණා. රජයෙන් ලැබුණ පන්දාහ නම් ලැබුණා. වෙනත් සහනයක් නම් අපිට  නෑ. බැංකු පොලිය අඩු කරලා කියලා කියනවා. නමුත්, ව්‍යාපාර තවමත් යථා තත්ත්වයට ඇවිත් නැහැ. මෙතැන ව්‍යාපාරිකයන් එකතු වෙලා හදා ගත්ත සමිති තුන හතරක් තියෙනවා. නමුත් මේ වෙලාවේ සමිති එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. මිනිස්සුන්ට ඒකටවත් කාලය යොමු කර ගන්න බැරි වෙලා තිබුණා. මොක ද? ඒ සමිතිවල ඉන්නෙත් එදිනෙදා ජීවත් වෙන මිනිස්සු. ගමේ ම  මිනිස්සු තමයි, මේ තියෙන හුඟක් බඩු හදන්නේ. අමුද්‍රව්‍ය ගන්නත් අපි එයාලට  සල්ලි දීල අපිම  එයාලගෙන් අරන් විකුණනවා. කඩවල් වහල තියන්න සිද්ද වුණ එකත් එක්ක එහෙම විකුණන්න ගත්ත බඩු  තියා ගන්න එක ප්‍රශ්නයක්  වුණා. මොක ද? වේවැල්වලින් හදපු බඩු නිකන් ම තියපුවාම සවුත්තු වෙනවා. අපිට ලොකු පාඩුවකුත් සිද්ධ වුණා. සමහර බඩු ගුල්ලො ගහලා, පුස් කාලා වගේ දේවල් නිසා අයින් කරන්න වුණා. ඒවා ඉතින් කරන්න දෙයක් නෑ. අපේ තියෙන ස්ටොක්වල හැටියට සාමාන්‍යයෙන් රුපියල් දහදාහක, පහළොස්දාහක විතර බඩු අපිට එහෙම අයින් කරන්න වුණා.”
හේමන්ත රාජපක්ෂ
ශාමලී ස්ටෝස් – රදාවඩුන්න

තාමත් මිනිස්සු කවුරුත් කඩවල්වලට එන්නේ යන්නේ නෑ.

“අවුරුදු විස්සකටත් වැඩියි දැන් මෙතැන කජු බිස්නස් කරන්න පටන් අරගෙන. කලින් නම් කඬේ ඉස්සරහ බඩු එළියට දාලා හොඳට ඩිස්ප්ලේ කරලා තමයි බිස්නස් කළේ. ඒත් මේ වෛරස් එක නිසා දැන්  වීදුරු ගහල හදා ගත්තා. පහුගිය
දවස්වල මාස තුනක් විතර අපි කාටවත් මෙතැන වෙළෙඳාම් කරන්න බැරි වුණා. අපි විකුණන්න ගත්ත කජු පරිස්සම් කර ගන්න  එක තමයි අමාරු වුණේ. මොක ද? බැදපු කජු කල් තියා ගන්න පුළුවන් වුණාට අමු කජු කල් තියා ගන්න බෑ. ඒ නිසා හුඟක් අයගේ විකුණන්න තිබුණු කජු පුස්කාලා, පොඟලා නිසා විකුණා ගන්න බැරි වුණා. දැනට නම් පටන් අරන් සති දෙකක්, තුනක් වුණාට ඉස්සර වගේ බිස්නස් එකක් නෑ. තාමත් මිනිස්සු කවුරුත් කඩවල්වලට එන්නේ යන්නේ නෑ. සාමාන්‍යයෙන් දවසේ වියදමට ටිකක් හරියන බිස්නස් එකක් මේ වෙද්දී හැදීගෙන එනවා.
සුසිරිපාල
විසල් කජු හල – කජුගම

සෙනසුරාදා, ඉරිදට ටිකක් ඉස්සර වගේ මිනිස්සු එනවා. නමුත්, සතියේ දවස්වල එහෙම නෑ.

“මේ මාසේ තමයි අපිටත් ආයේ කඩවල් අරින්න පුළුවන් වුණේ. කලින් වගේ නම් මෙතැන බිස්නස් නෑ. හුඟක් අඩුයි. සෙනසුරාදා, ඉරිදට ටිකක් ඉස්සර වගේ මිනිස්සු එනවා. නමුත්, සතියේ දවස්වල එහෙම නෑ. අපේ නම් මෙතැන මාළු ඉන්න නිසා විශේෂ අවසරයක් අරන් තිබුණා, ඇවිත් මේ මාළුන්ට කෑම බීම දීලා බලා ගන්න. විකුණන්නත්  බැරි නිසා  දවසකට සැරයක් අපි  ඇවිත් කෑම දීල සුද්ද කරලා යනවා.  ඒ නිසා අපිට නම් පඩි ලැබුණා.”
ශෂිකුමාර්
Lanka amerson water pets – බත්තරමුල්ල.

එක මාසෙක නම් අපිට ලොතරැයි මණ්ඩලෙන් රුපියල් පන්දාහක් දුන්නා.

“අල, ලූනු වගේ දේවල් විකුණගෙන පොඩි කඩයක් කරගෙන තමයි අපි ඒ දවස් ටිකේ ජීවත් වුණේ. මෙතැන ටිකට් විකුණන්න බැරි වුණ දවසේ ඉඳන් තමයි ඒක පටන් ගත්තේ. ජීවත් වෙන්න මොනවා හරි කරන්නත් එපැයි. මාස දෙකහමාරක් විතර අපිට ටිකට් එන එකත් නැවතිලා තිබුණේ. එක මාසෙක නම් අපිට ලොතරැයි මණ්ඩලෙන් රුපියල් පන්දාහක් දුන්නා. අපිත්  කුලියට තමයි කඩුවෙල ගෙදරක ඉන්නේ. එතැනටත් මාසෙට රුපියල් දහදාහ ගාණේ ගෙවන්න ඕනේ. එතැන අයිතිකාරයෝ හොඳ නිසා එක මාසෙක කුලිය ටිකක් කපලා තමයි ගත්තේ. ඒ නිසා අපි හිරවුණේ නෑ. එහෙම තිබිලා, මම ආයෙත් මෙතැන ටිකට් විකුණන්න පටන් ගත්තෙ මේ මාසේ අටවැනිදා ඉඳන්. එහෙම පටන් ගනිද්දීත් පොලිසිය අපිව දැනුම්වත් කරලා තිබුණේ, මාස්ක් දාන්න, නිතරම මීටරේක දුරින් ඉන්න වගේ දේවල්. මොක ද? මම දවසම විවිධ මිනිස්සුත් එක්ක නේ මූණට මූණ ගැටෙන්නේ. ඒ නිසා ගෙදර ගියත්, අපි පරිස්සම් වෙනවා. පුතාලගේ ළමයි එහෙම ඉන්න නිසා පිරිසිදු වෙලා තමයි පවුලේ අය ගාවට යන්නෙත්. ඇඳිරි නීතිය දාන්න කලින් නම් කොහොමත් දවසකට ටිකට් දාහක් විකුණනවා. දැන් ටිකට් හයසීයක් වගේ තමයි විකිණෙන්නේ. ඒ නිසා මෙතැනට ගන්න ටිකට් ගාණත් අපි කියල අඩු කරගෙන තියෙන්නෙ. ඉස්සර වගේම නැතත්, දැන් ටිකක් ටිකක් බිස්නස් තියෙනවා. මහත්තයත් දැන් ආයෙ වෙල්ඩින් වැඩවලට යනවා. ඒකත් හැමදාම නෑ. සතියකට දෙපාරක් විතර තමයි.”
සේනානායක ගමගේ හේමලතා
මායාදුන්න ලොතරැයි අලෙවි සල – ඇතුල්කෝට්ටේ.

මොකක්ම හරි කරන්න ඕනේ. නැත් නම්, ජීවත් වෙන්නේ කොහොම ද?

අපි ස්වයංරැකියා කරන මිනිස්සු
“මේක තමා අපේ ජීවිතේ. තෙල් තාච්චිය ළඟ තමයි දවසම. මමයි, බෑනයි තමයි මෙතැන බිස්නස් එක කරන්නේ. ජීවත් වෙන්නත් සටන් කරන්න වෙනවා. පහුගිය දවස්වල මේ බිස්නස් එක කරන්න බැරි වුණා. ඒ නිසා පොලිසියේ මහත්තුරු කිව්වා ‘අම්මගෙ බිස්නස් එකත් නැවතුණු නිසා එහෙනම් පොලිසියට කෑම පාර්සල් දෙන්න’ කියලා. ඒ විදිහට මොකක්ම හරි කරන්න ඕනේ. නැත් නම්, ජීවත් වෙන්නේ කොහොම ද? අපි ස්වයංරැකියා කරන මිනිස්සු. දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ, මේ වාහනේට ෆිනෑන්ස් ගෙවන්නත්  ඕනේ. පහුගිය දවස්වල නම්, ෆිනෑන්ස් කම්පැනිවලින් ටික කාලෙකට ෆිනෑන්ස් එක ගන්න එක නැවැත්තුව නිසා ප්‍රශ්නයක් වුණේ නෑ. ආයෙත් ඇඳිරි නීතිය අයින් කරපු දවසේ ඉඳන් වැඩ පටන් ගත්තට තාම නම් හරියට බිස්නස් එකක් නෑ. මේ සිංහල අවුරුද්දෙත් අපි බලන් හිටියේ කැවිලි ටිකක් වැඩිපුර විකුණ ගන්න. ඒත් හිතපු විදියට කරගන්න ලැබුණේ නෑ. අපි ගැන දන්න අය  දීපු ඕඩර්ස් ටික ගෙදර ඉඳන් හදල යැව්වා. සාමාන්‍යයෙන් දවසකට පිටි කිලෝ දෙකක විතර කැවුම් උයන දවස් තිබුණා ඉස්සර නම්, දැන් ඊට වඩා සැහෙන්න අඩුයි. දවසකට විකිණෙන ගාණ බලල තමයි හදන්නේ. අපි ගාව හැම කැවිලි වර්ගයක්ම තියෙනවා. කැවුම් එහෙම නම් මෙතැනට ඇවිල්ලම උණු උණුවේ උයනවා. අනිත් කැවිලි වර්ග හදාගෙන එන්නේ ගෙදරින්. ඒවත් හදන්නේ අපිම තමයි. කිසිම කැවිලි වර්ගයක් පිටින් ගන්නේ නෑ.”
පුෂ්පා ලියනගේ
රිසිරි රසකැවිලි, ජුබිලිකණුව.

මෙලෙස අප ඔවුන් සොයා යන මොහොත  වන විට ද ඔවුන් ඉතා දුෂ්කර කාලයක් පසුකර දමා අවසන් ය. නමුත්, එය ද අවසන් නොවී අපට දැකගන්නට ලැබුණේ, නැවතත් සිය ව්‍යාපාර යථා තත්ත්වයට පත් කර ගැනීමට දහදිය මහන්සිය නොබලා වැඩ කරන අයුරු ය. අදට වඩා හෙට යහපත් වේවි යැයි බලාපොරොත්තුවෙන් සිටින ඔවුන් තවත් බොහෝ  විස්තර අප හා බෙදා ගත්තේ ය.

ණය වුණ එක විතරයි වුණේ

“ඒ දවස් ටික නම් අමාරුයි තමයි. කන්නත් නෑ, ළමයින්ව බඩගින්නේ දාන්නත් බෑ. ණය වුණ එක විතරයි වුණේ. සපත්තු මහගන්න මිනිස්සු ගෙදරට එන්නෙ නෑ නේ. අපි හන්දියටම එන්න ඕනේ. කුලී රස්සාවකටවත් මනුස්සයෙක් ගෙදරට අඬගහන්නේ නෑ. කොරෝනා ගැන තියෙන බයට. ඒ හින්ද ගෙදරටම වෙලා හිටියා. එහෙන් මෙහෙන් ආධාර ටික ටික හම්බ වුණා. ඒවායෙනුයි, රජයෙන් දීපු පන්දාහෙනුයි තමයි කොහොම හරි අමාරුවෙන් ජීවත් වුණේ. දැන් ඇවිල්ල වැඩ පටන් අරගෙනත් සති දෙකක් විතර ඇති. තාම බිස්නස් එකක් අහු වුණේ නෑ. ඉස්කෝල
පටන් ගන්න ඕනේ අපට බිස්නස් තියෙන්න නම්. ඒ ළමයින්ගේ සපත්තු, බෑග් තමයි, හදන්න තියෙන්නේ වැඩිපුර ම. අනෙක් එක ගෑනු උදවිය එළියට එන්න ඕනේ. එයාලා එළියට ආවොත් තමයි, ගෙදර කැඩිලා තියෙන කුඩයක්, සපත්තුවක්, ළමයින්ගේ මොනවා හරි දෙයක් හදා ගන්න අරන් එන්නේ. පිරිමි කට්ටිය වැඩට යන කොට කවදාවත් ඕව උස්සන් එන්නෙ නෑ නේ. මේ දවස්වල රුපියල් දාහක් හොයා ගන්නෙත් හරි අමාරුවෙන්. ඒකෙනුත් කොච්චර දේවල් කරන්න ද? අපේ රස්සාව ගැන බලන්න කිසිම කෙනෙක් නෑ. මෙහෙම නිකම් පාරේ තියාගෙන ඉන්නවා වෙනුවට මෙතැන කරත්තයක්වත් තිබුණා නම්, නගරෙටත් ලස්සනයි, අපිත් වැදගත් විදියට රස්සාව කරගෙන යනවා. මෙහෙම ඉද්දි වැස්සට තෙමෙනවා, ආයෙ අව්වට  වේළෙනවා. අපිත් මිනිස්සු නේ. අපිත් ආසයි පිළිවෙළකට ඉන්න. මාසෙන් මාසෙට පොඩි ගාණක් කුලියක් විදියට ගත්තත් කමක් නෑ ආණ්ඩුවෙන්. මෙහෙම තියෙද්දී මනුස්සයෙක් වැඩක්වත් දෙන්න එන්න කැමති නෑ. මගේ පළමුවැනි රස්සාවත් මේක තමයි. මට අවුරුදු දාසයක් විතර ඇති  තාත්තා නැතිවෙලා මම මෙතැනට ඇවිත් රස්සාව
පටන් ගන්න කොට. නංගිලා දෙන්නෙක් ඉන්නවා. ගෙදර මූලිකයා නැති වුණාට පස්සේ එයාල ගැන බලන්නත් ඕනේ. ඉතින් දැන් මට අවුරුදු විසි එකක්. මම මේ විදියට මෙතැන සපත්තු මහන රස්සාව කරනවා. මට තියෙන එක ම බලාපොරොත්තුව තමයි, මෙහෙම බඩු පාරේ බිම තියාගෙන ඉන්නෙ නැතුව කවදා හරි මෙතැනම පොඩි කරත්තයක් තියාගෙන  පුටුවක ඉඳගෙන සපත්තු මහන එක.”
මුරුගන් සුමන්
නුගේගොඩ.

මොන පක්ෂෙ ද? මොන පාට ද? කියන එක වැඩක් නෑ. රටේ තියෙන තත්ත්වේ අනුව අනිත් හැම දෙයක්ම බලන්න ඕනේ

“මෙතැන දී ආණ්ඩුවට දොස් කියන්නත් බෑ. රට යන විදියට අපිත් යන්න ඕනේ. අපි හැමෝම දකිනව නේ රටේ තියන තත්ත්වේ මොකද්ද කියලා. මේ තියෙන තත්ත්වේ හැටියට අපිට ජීවත් වෙන්න ඇති තරමේ සාමාන්‍ය බිස්නස් එකක් තියෙනවා. මේ වෙද්දී මිනිස්සු ගාව එයාලට ලැබුණු බඩු තියෙනවා. මේ පැත්තේ මිනිස්සුන්ට ආණ්ඩුවෙන්, නගර සභාවෙන් ලැබුණු බඩු මාසෙකට විතර හරියන්න තියෙන නිසා කඩවල්වලින් ගන්නවා ටිකක් අඩුයි. බිස්නස් අඩුයි තමයි, ඒ වුණත් අපිත් ජනතාව විදිහට මේ වගේ වේලාවක දී මාස හය හතක කාලයක්වත් රජයට දෙන්න ඕනේ. මොන පක්ෂෙ ද? මොන පාට ද? කියන එක වැඩක් නෑ. රටේ තියෙන තත්ත්වේ අනුව අනිත් හැම දෙයක්ම බලන්න ඕනේ. කඩවල් වහද්දි තිබුණ මල් දුර ගමන් යන මිනිස්සු එහෙම ගත්තා. ඇඳිරි නීතිය අයින් කළාට පස්සේ 11 වැනිදා තමයි, අපි ආයෙමත් බිස්නස් පටන් ගත්තේ. මල්වලට බිස්නස් තියෙන්නේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා වගේ දවස්වල තමයි. බදාදා පත්තිනි පූජාවට යන අයයි, සෙනසුරාදට කතරගම, අනුරාධපුරේ යන මිනිස්සුයි ඇවිත් මල් ගන්නවා. කොහොමත් මල් අද ගොතල  විකිණුණේ නැත්තම් හෙට විසි කරන්න ඕනේ. කල්තියා ගන්න බෑ. අපිට මල් එන්නේ බදුල්ලෙන්, පුත්තලමෙන්, බණ්ඩාරවෙලින් වගේ තැන්වලින්. ඒ එවන මිනිස්සුන්ටත් පහුගිය දවස්වල ටිකක් අමාරු වුණා. කපුරු මල් එවන මනුස්සයා අපිට  කෝල් කළා  කන්න බොන්නවත් නෑ කියල. පස්සේ අපි ඒ මිනිස්සුන්ටත් සල්ලි යැව්වා. එයාලත් ජීවත් වෙන්න එපැයි. මේ වගේ වෙලාවක අපි පුළුවන් හැමෝම ගැන බලන්න ඕනේ. දැන් නම් ආයෙත් සාමාන්‍ය විදියටම අපිට මල්  ලැබෙනවා. පන්සල් ඇරියොත්, කඨින පින්කම් එහෙම තියෙන නිසා බිස්නස් හැදෙයි ඉස්සරහට.”
නිහාල් වීරතුංග
Green line (මාතර කඬේ) – වැල්ලවත්ත කෝවිල අසල.

ලැබෙන්නෙ පොඩි ගාණක් වුණත්, ඒ ගාණ හරි කමක් නෑ කියල තමයි දැන් කරගෙන යන්නේ.

“අපි අච්චාරු වෙළෙඳාම තමයි කරන්නේ. ඇඳිරි නීතිය දානවත් එක්කම අපිටත් වෙළෙඳාම් කරන එක නවත්තන්න වුණා. ඒ වෙද්දිත් වෙළෙඳාම අඩුවෙලා තමයි තිබුණේ. අපිත් එක්කත් කිහිප දෙනෙක් මෙතැන වැඩ කරනවා. ඒ අයට පඩි දෙන්න, එතකොට අනිත් වියදමුත් පියවා ගන්න අමාරු වෙන තත්ත්වෙටම වෙළෙඳාම  අඩු වුණා. පස්සෙ දිගට ම ඇඳිරි නීතිය දැම්මට පස්සෙ නවත්තලා දැන් ආයෙත් සති දෙකක විතර ඉඳන් පටන් ගත්තා පොඩියට වෙළෙඳාම් කරන්න. ඒත් ලොකූ වෙළෙඳාමක් වෙන්නෙ නෑ. සාමන්‍යයෙන් මේ වගේ වෙලාවක අපි වෙළඳාම් කරන්නෙ නෑ. නමුත් මේ වෛරස් තත්ත්වයත් එක්ක මාස තුනක් විතර අපි හැම දෙයක්ම නවත්තලා හිටපු නිසා ලැබෙන්නෙ පොඩි ගාණක් වුණත්, ඒ ගාණ හරි කමක් නෑ කියල තමයි දැන් කරගෙන යන්නේ. මුකුත්ම නැතුව ඉන්නවාට වඩා ඒක හොඳයි නේ. තාමත් කැම්පස් එහෙමත් හරියට පටන් අරගෙන නැති නිසා කලින් ලැබුණට වඩා සෑහෙන්න අඩු ආදායමක් තමයි ලැබෙන්නේ.”
ඩබ්ලිව්. ප්‍රියංකා
ජ’පුර සරසවිය ඉදිරිපිට

කලින් හම්බ කරගෙන ඉතුරු කර ගත්ත  සල්ලිවලින් තමයි, ජීවත් වුණේ

“මේ දවස්වල නම් මිනිස්සු එනවා පොඞ්ඩක් අඩුයි. පොඞ්ඩක් කියන්නේ බාගෙට බාගයක්ම වගේ බිස්නස් නෑ. ඇඳිරි නීතිය තිබුණු දවස්වල නම් කලින් හම්බ කරගෙන ඉතුරු කර ගත්ත  සල්ලිවලින් තමයි, ජීවත් වුණේ. කොහොම හරි තිබුණු සල්ලි ටිකෙන් පිරිමහගෙන හිටියා. අපි සල්ලි ඉතුරු කරපු නිසා තමයි ණයක් නොවී ඒ දවස් ටික ගෙවා ගන්න පුළුවන් වුණේ. මේ දවස් ටිකේ දවසකට තැඹිලි ගෙඩි සීයක් විතර තමයි කැපෙන්නේ. කලින් දවස්වල සෙනසුරාදාට, ඉරිදාට මම තනියම ගෙඩි හාරසීයක් විතර කැපුවා. දහම් පාසල්, ස්කෝල එහෙම පටන් ගත්තට පස්සේ නම්, එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ  බිස්නස් හැදෙයි. තාමත් මිනිස්සු හරියට එළියට ඇවිල්ලා, එළියේ ගැවසෙන්නේ නෑ. ඒකයි වෙලා තියෙන්නේ. බිස්නස් එක කොහොමහරි කරගෙන යනවා. අතාරින්නෙ නම් නෑ කීයටවත්. මොනවා වුණත්, තැඹිලි ගෙඩි හාරසීයක් පන්සීයක් ගෙන්නනවා. ගිය සෙනසුරාදා ගත්ත තැඹිලි ටික දැන් ඉවරයි. ඒ විදියට කොහොම හරි විකුණා ගන්නවා. මේ කාලේ කොහොමත් රඹුටන්, දූරියන්, දෙල් වගේ දේවල් එක්ක තැඹිලි ටිකක් වැඩිපුර විකිණෙන කාලයක්. නමුත්, ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු තාමත් එළියේ ගැවසෙන්නේ නැති එක තමයි. ගොඩාක් දුරට ප්‍රශ්නයක් වෙන වැටීමේ තත්ත්වයක් නැහැ. ඒ පැත්තටත් නැතුව මේ පැත්තටත් නැතුව ගාණකට වගේ යන්නෙ. මධ්‍යස්ථයි.
පද්මිණී පෙරේරා
මහරගම.
ලංකාව ඇතුළත ස්වයං ව්‍යාපාරවල නියැළෙන පිරිස ඉතා විශාල ය. ඔවුන් එක් වී ගොඩනඟා ගත් විවිධ සමිති සංවිධාන ද, රජය මඟින් ඔවුන් සඳහා පිහිටුවා ඇති ආයතන බොහෝ තිබුණ ද, ඒ කිසිවක් මේ මොහොතේ ඔවුන් සමඟ ඇති බවක් අපට පෙනෙන්නට නැත. ඔවුන් සමඟ ඇත්තේ කෙසේ හෝ තමන්ගේ ව්‍යාපාරයත්, ජීවිතයත් ගොඩනඟා ගත  යුතු ය යන උත්සාහය පමණි.  බොහෝ ව්‍යාපාරිකයෝ මේ වන විට නැවතත්  ව්‍යාපාර ආරම්භ කරමින් අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, සිය ජීවිකාව ගෙන යාමට තනිවම සටනක නිරත වෙමින් සිටිති. එවන් පිරිසකගේ දහසකුත් කතා අතුරෙන් අප මේ සටහන් තබා ඇත්තේ ඉන් කිහිප දෙනකුගේ කටුක ජීවිතය ගැන පමණි.

සටහන– වරුණ උදේශ් ජයසිංහ

ඡායාරුප-
රවින්ද්‍ර පුෂ්පකුමාර

 

Leave A Reply

Your email address will not be published.

five + three =