දැනසිටියාද ඇත්තටම ඔබ කාමන්…?

 

අන්දාලුසියානු මුඩු සුළඟේ
දොඩම් රොන්සුණු විසිරුවා හිනැහෙන්නී
සිගාර සුවඳේ මුසපත් රතැඟිලි
ආල පැඟිරේ කලතා
නුරාගිනි අවුලන්නී

දේශසීමා මූදු විනිවිද
ඇසෙන බව සියවස් ගණන් දුර
ඔබේ රාගී වසඟ ගී හඬ
දැනසිටියාද
ඇත්තටම ඔබ කාමන්…?

ලද බොළඳ සොල්දාදු චරිතේ
කැපෙන්නෑ මට කොහොමටත් රඟමඬලේ
රුහිරු වගුරන රුදුරු ගොන්පොර
නුපුරුදුයි මට කවදටත් රණමඬලේ
ඒත් ඔබෙ ඔය හබනෙරාවේ සරාගේ
දවයි මා මේ අනන්ත මුඩු සුළඟේ
විසුරුවාලූ ඔලිව් මල් සුවඳේ

සොරුන් හා වන ‍හාදකම් නම්
කොහොමටත් නෑ අන්දලුසියා කතරේ
ආල සොරකම් වලට බියවෙමි
රතැස් මැද මේ තැබෑරුම් අඩ අඳුරේ
සැතෙන් සිඳ පෙම නසනු බැරියෙන
දැවෙමි මම මේ අනන්ත මුඩු සුළඟේ
විසිරුවාලූ දොඩම් දෙහි පැඟිරේ

දේශසීමා මූදු විනිවිද
ඇසෙන බව සියවස් ගණන් දුර
ඔබේ රාගී රුදුරු ගී හඬ
දැනසිටියාද
ඇත්තටම ඔබ කාමන්…?

සෙවීයා, අන්දාලුසියාව, ස්පාඤ්ඤය
වසන්තය, 2019


කාමන් (Carmen) යනු ලොව පුරා ඔපරා ලෝලීන් මුසපත් කළ, මෙතෙක් බිහිවූ සියලු ඔපරා අතර අග තැනක වැජඹෙන ප්‍රංශ ඔපරාවකි. ප්‍රංශ ජාතික සංගීතඥ ජෝර්ජෙ බිසේ (Georges Bizet) විසින් 1875 දී නිර්මාණය කරන ලද මෙහි පෙළ රචනා වී ඇත්තේ ප්‍රොස්පර් මැරිමේගේ (Prosper Mérimée) එනමින්ම යුතු 1845 එළිදුටු නවලිකාව (novella – කෙටි නවකතාව) පදනම් කරගනිමිනි.
Novella නම් සාහිත්‍ය ප්‍රබේධයේ පුරෝගාමී රචකයෙක් ද වන ප්‍රංශ ජාතික මැරිමේ සාහිත්‍යවේදියකු පමණක් නොව සුප්‍රකට පුරාවිද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක් මෙන්ම ගෘහනිර්මාණ සංරක්ෂණ ඉතිහාසයේ අතිශය වැදගත් චරිතයක් ද වෙයි. ඔහු කාමන් නවලිකාව ලියන්නේ 1830 දී සිදුවූ සිය ස්පාඤ්ඤ සංචාරයන්හි දී ලද අත්දැකීම් ඇසුරෙනි. ස්පාඤ්ඤ ආදිපාදවරියකගෙන් අසන්නට ලැබුණු පුරාවෘතයකට සිය පරිකල්පනය මෙන්ම අත්දැකීම් හා අධ්‍යයනයන් ද මුසුකරමින් ඔහු කාමන් නම් ජිප්සි තරුණියට පණපෙව්වේය. නවලිකාවේ පසුබිම ස්පාඤ්ඤයේ අන්දාලුසියා නම් පළාතේ අගනුවර වූ සෙවීයා හා ඒ වටපිටාව යි. ඔහු පුරාවෘතයක සිටි චරිතයක් කාමන් නම් ජිප්සි යුවතියක බවට පමුණුවා සෙවීයා පසේ පැලකරන්නේ, ඇය සැබෑවට විසුවක ද යන විමතිය ‘කාමන්’ රසික සිත් තුළ අද පවා ඇතිකරමිනි. නිදසුනකට ඇය රැකියාව කළ රාජකීය දුම්කොළ කම්හල අදටත් දැකගත හැකි, අද සෙවීයා විශ්වවිද්‍යාලයට අයත් ඓතිහාසික ගොඩනැගිල්ලකි. මෙයින් සියවස් දෙකකට ආසන්න කාලයකින් එපිටහට දිවෙන කල්පිත කාමන්ගේ පියසටහන් සොයා ඇත්ත සෙවීයා නගරයේ හා ඒ ප්‍රත්‍යන්තයේ සැරිසැරීම අදටත් සැබෑව හා කල්පිතය අතර අද්භූත, රොමෑන්තික ඉසව්වකට පිවිසීමක් බඳුය.
ස්පාඤ්ඤ බසින් සෙවීයා හෝ සෙබීයා ලෙසින් වැහැරුණත්, ඉංග්‍රීසි බසින් සෙවිල් ලෙස කියැවෙන මේ නුවර කරා අපේ පළමු ගමන සිදුවූයේ පසුගිය වසරේ (2019) වසන්තයේදී ය. අල්සසාර් (Alcázar) මාළිගා සංකීර්ණය හා ප්‍රධාන දෙව්මැදුර ද අයත්, සේයාරූ විසිතුරකින් හෙබි සෙවීයා ‘පැරැණි නගරයේ’ ඉබාගාතේ ඇවිද යන අතර, කාමන්ගේ පා සටහන් ලුහුබැඳීමේ ඒකායන අරමුණක් අපවෙත නොවිණි. එහෙත් මාළිගා සංකීර්ණය කරා එහි පසුපසින් වැටුණු එක් පටු දෝනා මඟක සරමින් සිටියදී, එහි ප්‍රාකාරයේ මෙහි 9 වැනි සේයාරුවේ එන ඵලකය ඇසගැටුණු තැන් පටන් අපටත් සෙවීයා නුවරින් කාමන් වෙන්කරගන්නට බැරි විය. එම ඵලකයේ සටහන් වන්නේ, කාමන් ඔපරාවේ එන කාමන් නම් ජිප්සි තරුණිය සොල්දාදුවන් කෙරෙන් පලායන දර්ශනය එම වීදියේ සිදුවන බවය.

මේ පදපෙළෙහි එන්නේ අන්දාලුසියානු මුඩු සුළඟේ ද, දෙහි දොඩම් පැඟිරේ ද ඔලිව් සුගන්ධයේ ද කැවුණු සොඳුරු කාමන් මතක මෝහනයේ එක් එසැණ ආවේස නිමෙසකි.


හබනෙරා (Habanera) යනු කාමන් ඔපරාවේ පළමු රංගයේ එන අතිශය ජනප්‍රිය ”ආලය දුර්දම සියොතෙකි” නම් ආරියාව (Aria) හෙවත් ඒකල ගීතය හැඳින්වෙන ප්‍රචලිත නාමයයි. ඔපරාවේ ප්‍රධාන චරිතය වන කාමන් නම් ජිප්සි තරුණිය වේදිකාවට පිවිසෙන්නේ මේ හබනෙරාව ගයමිනි. ලොව සියලු ජනප්‍රිය ඔපරා ආරියාවන් අතර මේ හබනෙරාව අගතැනක වැජැඹේ.

සේයාරූ


  1. බාලිකාවන් පිරිවරා සෙවීයා නුවර ප්ලාසා ද ස්පඤ්ඤා හි නර්තන පුහුණුවක යෙදෙන නළඟනක්
    2-3. අන්දාලුසියාවේ උපත ලද බව සැලකෙන ෆ්ලමෙන්කෝ (Flamenco) නර්තන – වාද්‍ය කලාවට අයත් නර්තනාංගයක් ඉදිරිපත්කරන නාටිකාංගනාවක්
  2. අල්සසාර් (Alcázar) මාළිගා දොරටුව
    5 – 8. අල්සසාර් (Alcázar) මාළිගාවේ ඇතුළත
  3. කාමන් සොල්දාදුවන් කෙරෙන් පලායන දර්ශනය සිදුවන්නේ මේ වීදියේ බව දැක්වෙන ඵලකය
    10 -11. කාමන්ගේ පලායාම සිදුවන පටු දෝනා මඟ
  4. ලොව සුප්‍රසිද්ධම ගොන්පොර සැණකෙළිවලින් එකක් පැවැත්වෙන සෙවීයා හි ගොන්පොර පිටියේ බැරොක් ශෛලියෙන් නිර්මිත ප්‍රධාන දොරටුව

සටහන සහ සියලු සේයාරූ -සනත් බාලසුරිය

 

  

 

 

 

 

 

 

 

 


 

Leave A Reply

Your email address will not be published.

10 + seventeen =