කරුණාගෙන් සී.අයි.ඩී. යට පැය 7ක ප්‍රකාශයක්

අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැය 7ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදී තිබේ.

පසුගිය සඳුදා(22) විනයාගමූර්ති මුරලිදරන් හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනෙන ලෙස දැනුම් දුන්නද ඔහු පැමිණියේ 25 වන බ්‍රහස්පතින්දා පෙරවරුවේ ය. ඒ තමන් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමිනි.

පසුගිය 17 වනදා පැවති අදාළ රැස්වීමේදී ඔහු සඳහන් කළේ තමන් කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටියදී හමුදා සාමාජිකයින් 2000ක්, 3000ක් අතර ප්‍රමාණයක් එක් රැයකදී ඝාතනය කළ බවයි.

මෙම ප්‍රකාශය පිළිබඳව රට තුළ විවිධ කණ්ඩායම් වළ කථාබහක් ඇතිවූ අතර, දේශපාලනඥයින් මෙන්ම ආගමික නායකයින් තවමත් ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරමින් සිටියි. විශේෂයෙන් ආණ්ඩුවේ කුඩා කුඩා පක්‍ෂ අතර පවා එකිනෙකට පරස්පර අදහස් පළකරමින් සිටිති.

කෙසේ වෙතත් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පසුගිය සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසය. ඒ අනුව විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මෙලෙස පැය හතක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී තිබේ.

Leave A Reply

Your email address will not be published.

four × 1 =