ගින්න ඇවිළවූ ලොක්කන් බේරා පොඩ්ඩන් ඇතුළට

පසුගිය 13 වැනි දින කුලියාපිටිය සහ හෙට්ටිපොළ මුල්කරගෙන ආරම්භ වී මිනුවන්ගොඩ ප්‍රදේශය දක්වා පැතිරී ගිය ජාතිවාදී ප්‍රහාර පිටුපස සෘජුව හා වක්‍රව ප්‍රකට දේශපාලනඥයන් සහ ඔවුන්ගේ සෘජු ආධාරකරුවන් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
කාලයක් පුරා ම සිදුවීම්වලට වගකිව යුත්තන් නිදහස් කරමින්, ඉන් පිටස්තරයන් මත වගකීම පටවන ‘ලොක්කන් බේරා පොඩ්ඩන් ඇතුළට දාන’ ආණ්ඩුවේ උපායමාර්ගය මෙහි දී ද ක්‍රියාත්මක වෙමින් තිබේ.
සිදුවීමට මැදිහත් වූ බවට දයාසිරි ජයසේකර, මධුමාධව අරවින්ද පිළිබඳව විවිධ චෝදනා එල්ල වී තිබුණු ලෙස මෙම ප්‍රහාරය සඳහා පසුගිය කාලය තුළ දී මතවාදී ප්‍රචාරක කටයුතු කළ බවට විෙජ්දාස රාජපක‍ෂ, තිලංග සුමතිපාල, උදය ගම්මන්පිල ඇතුළු කණ්ඩායම ද මෙම විනාශයට වගකිව යුතු බවට දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. පසුගිය කාලය තුළ දේශපාලන අධිකාරියේ අනුග්‍රාහකත්වය ලබමින්, සිංහල ජාතිවාදී කණ්ඩායම් පෝෂණය කළ ගලගොඩ අත්තේ ඤාණසාර භික‍ෂුව ද බන්ධනාගාරයෙන් නිදහස් කර ගැනීමට මෙහෙයැවූ එජාප – ශ්‍රීලනිප මෙන්ම පොහොට්ටු පක‍ෂයේ දේශපාලනඥයන් වෙත ද මෙම විනාශයට වගකිව යුතු බවයි මේ පිළිබඳව ලංකා වෙත අදහස් දැක් වූ පිරිස් ප්‍රකාශ කළේ.
සිදුවීම මතවාදීමය වශයෙන් පෝෂණය කරමින් සම්පූර්ණ මාධ්‍ය ජාලය ම හැසිරවූ ප්‍රකට ව්‍යාපාරික මාධ්‍ය ආයතන දෙකක් වෙත ද මෙම සියලූ විනාශයේ වගකීම එල්ල වන බවයි ඔවුන් පවසන්නේ.
එසේ තිබිය දී, සෘජුව ම ප්‍රහාරය එල්ල කළ පහළම කොටස වරදකරුවන් කරමින් පමණක් දෑත් සෝදා ගැනීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජය කරමින්, ප්‍රහාරය පිටුපස සිටිමින් පසුගිය කාලය පුරා ම මෙවැනි උමතු ප්‍රහාරයකට කණ්ඩායම් උසිගැන් වූ පිරිස ද ස්වාධීන පරීක‍ෂණයකට ලක් කළ යුතු බවයි ඔවුන් පවසන්නේ.
අප්‍රේල් 21 මරාගෙන මැරෙන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව පරීක‍ෂණ යම්තාක් දුරට නිවැරැදිව සිදු වෙමින් පවතින මොහොතක එම පරීක‍ෂණ සඳහා වන අවධානය වෙනතකට යැවීම සඳහා මෙම මැයි 12, 13, 14 තෙදින තුළ කළ ජාතිවාදී ප්‍රහාරයන් සිදු කෙරී ඇතැයි තමන්ට සාධාරණ සැකයක් පවතින බව බොහෝ දෙනෙක් මේ වන විටත් ප්‍රකාශ කරමින් සිටිති.
විවිධ මට්ටමින් ක්‍රියා කරන මේ ජාතිවාදී, අන්තවාදී, ආගම්වාදී සංවිධානවල ප්‍රධාන ක්‍රියාකාරීන් තිදෙනකු සිදුවීම්වලින් පසුව අත්අඩංගුවට ගෙන ඉන් එක් අයකු පමණක් ඇප මත නිදහස් කර සත්‍ය වරදරුවන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ දීම බරපතළ විනාශයකට පාර කැපීමක් වන හෙයින්, තරාතිරම නොබලා චූදිතයන් සියල්ලන්ටම එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට තමන් ඇතුළු පිරිසක් ආණ්ඩුවට බල කරන බව ජාතික විද්වත් සංවිධානය වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

(සුලෝචනා අධිකාරී)

Leave A Reply

Your email address will not be published.

13 − six =