රහස් කවුළු විවර කළ නිම්නාගේ අවිඥානික ඉතිහාසය

 

මුලින්ම සිද්ධ වෙන්නේ ඇගේ ෆේස්බුක් ගිණුම අතුරුදහන් වීම. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතුරුදහන් වීමක තිබිය හැකි බිහිසුණු සෞන්දර්යය එහි වූ බවට සැකයක් නැහැ. හරියට ඝන අඳුරු රාත්‍රීයක හිටි ගමන් සිද්ධවෙන විදුලිය විසන්ධි වීමක් වගේ. ඔබේ ඇඳ, ඔබේ ඇඳුම් රාක්කය ඔබේ අළු බඳුන, මේසය හා ඒ මත විසුරුණු පොත් … මේ සියල්ල මේ දැන් ටිකකට කලින් පැවතුනා…. දැන් නැහැ. අන්න ඒ වගේ ඈ මේ දැන් ටිකකට කලින් ඇගේ සුපුරුදු ගුප්ත අනුරාගී සිනහවෙන් තරුණ ඇස් ඈ මත අලවා ගෙන සිටි අතර සැනෙකින් ඈ නැහැ. මේ ලෝකය තුල ඇගේ පැවැත්ම කිසි කලෙක සැබෑවක් නොවූ තරම් ගැඹුරකින් හා බරකින් ඈ මේ ලෝකය තුල නොපවතින්නට වුනා. ගැඹුරු අහිමිවීමක අත්‍යන්ත නොපැවැත්මක වෙදානාකාරී බවකින් සයිබර් අවකාශය ම ඇලී ගියා සේ දැනෙන්නට පටන් ගත්තා. හරියට මොනාලීසා සිත්තම අතුරුදහන් වූ ලූවර් කෞතුකාගාරය වගේ.

කෞශල්‍යා කුමාරසිංහ ගේ නිම්නාගේ ඉතිහාසය නවකතාවේ පටන් ගැම්ම, එහෙමත් නැතිනම් ආරම්භයේ සහ අවසානයේ හෝඩුවාව සනිටුවහන් කරන්නේ මාර්ටින් හෛඩගර් Martin Heidegger ගේ ලෝකය තුල පැවැත්ම කියන සාධකය සිහිපත් කරමිනි. හෛඩගර් උත්සාහ කරන්නේ ඔහුගේ ගේ කේන්ද්‍රීය සංකල්පයක් වන පැවැත්ම Being කියන සාධකයට දාර්ශනික උත්තරයක් සපයන්නයි. මේ සඳහා ඔහු කාලය අර්ථකථනය කරමින් කාලය හරහා පැවැත්මේ විශ්වීයත්වය අර්ථකථනය කරනවා. කෞශල්‍යා විසින් ඔහුගේ පොත හරහා උත්සාහ කරන්න හදන්නේ මිනිස් ස්වභාවයේ ඇති නිෂේධනාත්මක හා ප්‍රතිජනනාත්මක ස්වරූපයන් අර්ථකථනය කරන්න නොව ලෝකය තුල පැවත්ම කියන සාධකය මගින් ඕනෑම ආකාරයකට අවබෝධයක් ලබාගත හැකි බවයි.

දැන් ආකාස උයන පුරා පැතිරී යන මේ හැඳින්වීමේ සංගීතය අවසන් වූ සැනින් ගැයෙන්නට නියමිත ගීතය කුමක් විය හැකිද?

පරිච්චේද හැත්තෑපහකින් කොටස් හතරකින් සහ පිටු හයසිය හැත්තෑහැහයකින් සමන්විත කෞශල්‍ය කුමාරසිංහ ගේ නිම්නාගේ ඉතිහාසය නවකතාව අවසන් කරන්නේ ඉහත සඳහන් වාක්‍යයෙනි. මම හිතන ආකාරයට මෙම නවකතාවේ අවසානය සනිටුවහන් කරන ආකාරය හරිම දේශපාලනිකයි සහ මේ කතාවේ ආකෘතිය සහ අන්තර්ගතයට විසින් ඉල්ලා සිටින තීරණාත්මක අවසන් කිරීමක් කියලයි මට හිතෙන්නේ. මේ අවසන් පද පෙලෙන් පසු මේ පොත කියවා අවසන් කරන පාඨිකාවට නැවත නැවතත් හිතන්න යමක් ඉතුරු කරමින් කරන මේ අවසන් කිරීම සාහිත්‍ය කෘතියක් තුල තිබෙන ගුණාත්මක ලක්ෂණයකි. මෙම සාහිත්‍යමය ලක්ෂණය මෑතකදී ඉතාමත් සූක්ෂම ආකාරයෙන් කල කතාකරුවා වන්නේ ලියනගේ අමරකීර්තියි. ඔහුගේ සියළුම නවකතාවල මේ ලක්ෂණය ඉතාමත් තාර්කික ලෙස ප්‍රකාශමාන කර තිබෙනවා. සාමාන්‍යයෙන් සිංහල සාහිත්‍යය ඇසුරු කරන බොහොමයක් දෙනා මාත් ඇතුළුව ඉතාමත් කැමති සාහිත්‍යය කරුවන් දෙදෙනෙකු තමයි සයිමන් නවගත්තේගම සහ අජිත් තිලකසේන කියන කතා කරුවන් දෙදෙනා. මේ දෙදෙනා සාහිත්‍යය හරහා කරපු ඒ සාහිතමය වික්‍රමය අතික්‍රමණය කරන්න තවමත් අපේ සිංහල කතා කරුවන්ට නොහැකි වී ඇතැයි කිවහොත් ඔබ මා සමග උරණ නොවෙන බව මා දනිමි. නවගත්තේගම ගේ හා අජිත් තිලකසේන කතාකලාවට අපි ආශක්ත වෙන්නේ ඔවුන්ගේ ලිවීමේ ශෛලීන් වල ඇති මැජික් යතුර නිසාම නොවේ. ඔවුන්ගේ කතා හරහා මිනිස් අවිඥානයට කතා කරන්න හැකි ශක්‍යතාවය මනාවට තිබෙන නිසාවෙනි. ඒ හැකියාව හැම කතා කරුවෙකුටම පිහිටන්නේ නැති බවත්, විශාල පොත් ප්‍රමාණයයක් කියෙව්වත් ඒ ආත්මීය හැගීම හැම කෙනෙකුටම පිහිටන්නේ නැති බවත් අපිට තේරෙනවා ඔවුන්ගේ පොත් පත් පරිශීලනය කරන විට. සයිමනුත් අජිතුත් වෙළඳපොළ කේන්ද්‍ර කරගෙන නිර්මාණකරණයේ යෙදුණු දෙදෙනකු නෙමෙයි කිසිවිටකත්. ඔවුන්ට ජීවිතය ගැන, ලෝකය ගැන හොඳ පරිචයක් තිබුනා වගේම හොඳ කලාත්මක ඥානයක් තිබුනා. ඒ නිසයි ඒ පොත් පත් පරිශීලනය කලාම අපේ ඇට නහර පසාරුකරගෙන ගොස් අපේ අවිඥානය අවදි වෙන්නේ. මේක හැම කතා කරුවෙකුටම කරන්න පුළුවන් වීර වික්‍රමයක් නොවෙයි. මම හිතනවා කතා කරුවෙක් මනෝවිද්‍යාත්මක හා මනෝවිශ්ලේෂනාත්මක පසුබිම ගැන දැන සිටීම ඉතාමත් වැදගත් සාධකයක් කියල. ඒ හරහා තමයි කතා කරුවෙකුට එහි එන චරිතවල ස්වභාවයන් නිසිලෙස කළමනාකරණය කරන්න හැකියාව ලැබෙන්නේ. සයිමන් සහ අජිත් මේ පසුබිම යටතේ එක් යුගයක් සනිටුවහන් කල අතර, අමරකීර්ති සහ කෞශල්‍යා නුතන මිනිසාගේ මේ යටිබිම්බ ගත මිනිස් ස්වභාවයන් ග්‍රහණයට හසුකරගනිමින් ඉන්නවා කියන එකයි මගේ අදහස. අමරකීර්තිත් කෞශල්‍යාත් යතාර්ථවාදී ශානරය යටතේ ලියන කතා කරුවන් දෙදෙනෙක් වගේම, ඔවුන් දෙදෙනාම ව්‍යාජ වචන හරඹයන් බලහත්කාරයෙන් ඔවුන්ගේ කෘති තුලට ඇතුල් නොකිරීමට වගබලාගන්නේ ඉතාමත් දැනුවත්භාවයකින් බව තේරෙනවා. ඒත් ඔවුන්ගේ කෘති වලින් කියවෙන සමාජ දේශපාලනික කරුණු කාරණා ඉතාමත් තාර්කිකයි සහ නිර්මාණශීලීයි. ඉතිං‍ ! මේ සියළු කාරණා සිහියේ තබාගෙන කෞශල්‍යා ගේ නිම්නාගේ ඉතිහාසය දෙසට හැරෙමු. එය අපේ වර්තමාන දිශානතිය වගේම ඉතිහාස ගමන් මගෙහි කණ්ඩණීය දේශපාලනය හැරයුමේ අවිඥානක කැඩපතයි. මගේ මේ විචාරාත්මක මහන්සිය ඒ කැඩපත නැවත අප දෙසටම හරවා බැලීමයි.

අප දන්නා පරිදි යම් සාහිත්‍යමය වියමනක්, සිනමා කෘතියක්, කවියක් හා චිත්‍රයක් මගින් ප්‍රකාශමාන වෙන්නේ ඒ සමාජ සන්දර්භයට හා එහි පවතින දෘෂ්ටිවාදයට සාපේක්ෂව බව මම මීට කලින් ලියන්නට යෙදුණු මගේ වියමන්වල සඳහන් කර තිබෙනවා. නිම්නාගේ ඉතිහාසය හරහා පිටු හයසියහැත්තාහයකින් කෞශල්‍යා කියන්නට උත්ත්සාහ කරන්නේ අතීතය හා වර්තමානය අතර කාලසීමාවේ සමාජ දේශපාලන දෘෂ්ටිවාදී ව්‍යුහාත්මක චලන රටාවයි. නිම්නා කියන ස්ත්‍රී චරිතය කේන්ද්‍ර ගතකරගෙන එහි වටා ගොඩනගන අනෙකුත් චරිතයන් අප දැන් මේ මොහොතේ ජීවත්වෙන දේශපාලන අවිඥානය අනාවරණය කරන්න කෞශල්‍යා ගන්න උත්සාහය හරිම තාර්කිකයි වගේම හරිම නිර්මාණශීලීයි. සාමාන්‍යයෙන් අප දන්නා කාරණයක් වන්නේ යම්කිසි සමාජයක එහි මානව පැවැත්ම තාර්කිකව තේරුම් ගන්නනම් දාර්ශනික සංකල්පවල මැදිහත්වීම් අවශ්‍ය වෙනවා වගේම, ඒ පැවත්ම ගැන විශ්ලේෂනාත්මකව බැලීමට යම් විෂයානුබද්ධ යාන්ත්‍රණයක් අවශ්‍යය වෙනවා වගේම සාහිත්‍ය හෝ යම් කලාකෘතියක් විශ්ලේෂණයකට බඳුන් කිරීමටද විද්‍යාත්මක ආභාෂයක් අවශ්‍ය වෙනවා. අපි දන්නවා ගෙවීගිය කාලවකවානුව තුල කලාකෘතියක් හෝ සාහිත්‍යය කෘතියක් සුචරිත ගම්ලත්, පියසීලී විජේගුණසිංහ වගේ විචාරකයින් විචාරය කලේ මාක්ස්වාදී සන්දර්භය ඇතුලේ කියල. මේ මාක්ස්වාදී විචාර විධික්‍රමය අභියෝගයට ලක්කරමින් ‘ප්‍රවාද’ සහ X කණ්ඩායම අළුත් චින්තන දහරාවක් ලාංකික සමාජය තුලට දේශපාලන වශයෙන් ප්‍රබල මැදිහත්වීමක් කළා. ඒ ගොඩනැගුනු විචාර චින්තන ක්‍රමය ආයතනික වශයෙන් යම් පිළිවෙලකට හඳුන්වා දුන්නේ සහ ග්‍රන්ථ වශයෙන් සමාජගත කලේ ලියනගේ අමරකීර්ති මහතායි. ඔහුගේ ‘සහෘද සාක්ෂිය, අමුතු කතාව සහ පහන සහ කැඩපත එයට සාක්ෂි දරනවා. ආගම, සෞන්දර්ය සහ මාක්ස්වාදී දෘෂ්ටිකෝණයෙන් කලාකෘතියක් දෙස බැලූ යුගය අවසන්වී ඇති වකවානුවක් තුල අපි දැන් ජීවත්වෙමු. අප දැන් ජීවත් වෙන්නේ තාක්ෂණික ධනවාදය අධිනිශ්චය වූ ගෝලීයකරණය වූ පසුබිමකය. මේ නව යුගය තුල මිනිස් සිතුම් පැතුම් හා මිනිස් ක්‍රියාකාරකම් වටහාගන්න නම් නව චින්තන ධාරාවක් අවශ්‍ය වෙනවා. නිම්නාගේ ඉතිහාසය ලියවෙන්නේ මේ නව සමාජ සැකැස්ම ඇතුලේ නිසා අපට එහි ව්‍යුහාත්මක චලන රටාවන්වල ස්වභාවය සහ මිනිස් හැගීම්වල ස්වභාවයන් තේරුම් ගන්න වෙන්නේ නව විද්‍යාත්මක ආභාෂයක් ඇතුලේ. මාක්ස්වාදය දේශපාලනිකව යතාර්ථයක් වුනත් මේ මොහොතේ මිනිස් හැගීම්වල සහ මිනිස් අවිඥානය වැඩකරන විදිය තේරුම් ගන්න එක දේශපාලන වශයෙන් වැදගත් කියල මට හිතෙනවා. ඒ නිසයි මම මේ ලිපියට මාතෘකාව දැම්මේ ‘රහස් කවුළු විවර කල නිම්නාගේ අවිඥානික ඉතිහාසය’ කියල කෞශල්‍යා ගේ රචනා ශෛලියට මම ඇලුම් කරනවා. ඔහු විදුර එක්ක පරිවර්තනය කළ ඇලෙන් බදියු ගේ In Praise of Love ප්‍රේමය පසසනු වස් කෘතියත්, ඔහුගේ මේ රහස් කවුළුවෙන් එබෙන්න කෘතියත් මම ආසාවෙන් රස වින්ද කෘති දෙකක්. මේ රහස් කවුළුවෙන් කෘතියේ අන්තර්ගතය සහ ආකෘතිය සාහිත්‍යය පාඨකයාට නැවුම් අත්දැකීමක් ගෙනදුන්නා. මම හිතනවා නිම්නාගේ ඉතිහාසයත් අපට අලුත් අත්දැකීමක් ගෙනදෙනවා කියල. මොකද මේ කෘතිය හරහා නුතන ලෝකයේ මිනිස් හැගීම් කදිමට විවරණය කරන්න කෞශල්‍යා විශාල මහන්සියක් අරගෙන තියෙන නිසාවෙන්.

කෞශල්‍ය කුමාරසිංහ ගේ නිම්නා ගේ ඉතිහාසය නවකතාවේ කේන්ද්‍රීය චරිතය වන නිම්නා මෙලොව එලිය දකින්නේ ගෝලීය වශයෙන් හා දේශීය වශයෙන් දේශපාලනිකව ඉතාමත් ව්‍යුහාත්මක චලනයන් සිදුවන කාලවකවානුවකය. ඇය උපදින්නේ 1989 නොවැම්බර් 09 වෙනිදායි. එය සමාජවාදී පරමාදර්ශීන් ලෝක දේශපාලනය තුල අර්බුධයට ගිය, දසදහසක් ජනයා බර්ලින් තාප්පය කුළුගෙඩි වලින් ගසා බිමට සමතලා කල, දේශීය වශයෙන් ලංකා දේශපාලනය තුල ඉතාමත් අවාසනාවන්තම අත්දැකීම් රාශියකට මුහුණ දුන් වසරක තමයි නිම්නා ගේ උප්පැන්න සහතිකය ලියවෙන්නේ. නිම්නාගේ ජීවිතය වටකරගෙන ගොඩනැගෙන කතා රටාව පරම්පරා හතරක අතීතයක් සමග අපට වරින් වර මුණ ගැහෙනවා නිම්නාගේ අම්මාගේ, අම්මගේ අම්මාගේ සහ මී මිත්තණියගේ පරම්පරාව ලෙස. නිම්නා අයත්වන නුතන යුගයේ පරම්පරාවෙත්, නිම්නාගේ පෙර පරම්පරාවේ යුගයේ සිට අද දක්වා ඇතිවූ සංස්කෘතික, ආර්ථික දේශපාලන, සමාජමය හා දෘෂ්ටිමය අසමත්භාවයත්, ඒ අසමත්භාවය නිසා සාමාජීය ලෙස ඇතිවූ මානසික හිස්කමේ ඇති ඛේදවාචකයත් නිම්නාගේ ඉතිහාසය හරහා ප්‍රකාශමාන කරන්න කෞශල්‍යා සමත් වෙලා තියනවා කියලයි මගේ හැගීම. මේ පොත පුරාවට කැන්දාගෙන එන චරිත හරහා ඒ බුද්ධිමය දෘෂ්ටිමය හා දේශපාලන අසමත්කම මොනවට ප්‍රකාශ වෙනවා. පැරණි වාමාංශික දේශපාලනයේ අසමත්කම නියෝජනය කරන සේනකත්, නුතන දේශපාලනය නියෝජනය කරන අරවින්දත් මෙහි එන වැදගත් චරිත දෙකක්. මේ චරිත දෙක එකට මුණ ගස්වා දේශපාලන අතාර්කික ස්වභාවය සියුම් ලෙස හා හරිම තාර්කිකව ප්‍රකාශ කරන්න දරණ උත්සාහය හරියට සිනමා රුපයක් වගේ. ඒක මේ දෙදෙනාගේ දෙබස් කාණ්ඩයෙන් හොඳට පැහැදිලි වෙනවා.

‘මුළු ලෝකෙම දුවන්නේ දරාගන්න බැරි අයුක්තියක් හංගගෙන.ඒත් යම් වෙලාවක මේ එකතු වෙන වේදනාවල් පුපුරලා යන දවසක් එනවා’ අරවින්දගේ ස්වරයේ තිබුණේ දැඩි විස්වාසයක්.

‘ඕක හරිම රොමෑන්ටික් අදහසක් අරවින්ද. ඔය කියන විදිහට වේදනාවල් එකතු වෙන්නේ නැහැ. කොටින්ම තුවාල ගැන තියන අර්ථය පවා වෙනස් වෙනවා. හැමදේම තියෙන්නේ ලොකු චලනයක. ෆික්ස් ඩිපොසිට් දැම්මා වගේ එහෙම සමාජ වේදනාවල් තැම්පත් වෙලා තියෙන්නේ නැහැ’

‘ ඒක ඇත්ත. හැබයි නිවැරදි දේශපාලනය ව්‍යාපාරයකට ඒ වේදනාවල් ඒ ආන්තික වීම, දේශපාලන අරගලයට යොදාගන්න පුළුවන්. ඒ ව්‍යාපාරවලට පුළුවන් ඒ වේදනාවල්වල ශක්තිය රැකගන්න’

‘ඒක හරි හැබයි ඒකට ඒ ව්‍යාපාර ගොඩාක් ශක්තිමත් වෙන්න වෙනවා. අද වගේ කාලෙක එහෙම ව්‍යාපාරවලට ඇහුංකං දෙන පිරිස ගොඩාක් අඩුයි නේද? අපි ඔයගොල්ලොන්ගේ තාත්තල තරුණ කාලේ වම කියන්නේ තරුණයෙකුට මග හැරලා යන්න බැරි දෙයක්. අදත් එහෙමද?’

‘ඔව් අද ඒක වෙනස්. ඒත් කොමියුනිස්ට් සමාජයක හීනය දරාගන්න තරුණයෝ අදත් ඉන්නවා. වැදගත් වෙන්නේ හීනයක් එක්ක ජීවත් වෙන එක’

‘මටනම් ඔයගොල්ලොන්ගේ හීන ගැන සැකයි අරවින්ද. ඔයගොල්ලොත් එක්ක දැන් හරිම අනුරාගික විදියට දේශපාලනය කරන අය අනාගතේ නවතින තැන් ගැන කියන්න ඔයාට තාම වයස මදි. ටික කාලෙකින් ඒ ගොල්ලොමටම තේරෙන්න පුළුවන් හීනය මැරිලා හැබැයි ඒ ගොල්ලො අමරණීය වෙලා කියල’

පොතේ එන මේ දෙබස පැරණි වාමාංශික හා නුතන වාමාංශික සමාජ දේශපාලන තලය තේරුම්ගන්න හොඳ අවස්තාවක්. මේ දෙකේම ඇති දේශපාලනික අසමත්කම ගැන කෞශල්‍යා හරිම සවිඥානිකව සාහිත්‍යයමය ආකාරයෙන් අන්තර්ගත කරලා තියනව. පැරණි හා නුතන සමාජ දේශපාලන අර්බුධයේ ගැටලුව සේනක, අරවින්ද හා නිම්නා ඇතුළු අනෙකුත් චරිත හරහා ගෙන එන්නේ එක පරම්පරාවක් අනිත් පරම්පරාවට වඩා හොඳයි හෝ නරකයි කියන පටු මානසික තත්වයකින් නෙමේ. එහෙම නොකියා ඉන්න තරම් කෞශල්‍යය ගේ පරිකල්පනීය ශක්තිය හරිම මටසිලිටියි කියලයි මට හිතෙන්නේ. මේ පරම්පරා කීපයේම ඇති බුද්ධිමය හා දෘෂ්ටිමයේ මානසික හිස්කම ගැන මේ පොත කියවන්නියකට ආයාසයකින් තොරව ග්‍රහණය කරගන්න ආකාරයෙන් පිටු හයසිය හැත්තෑහයක් පුරාවටම විහිදී තියනවා.

අනිත් වැදගත් කාරණය තමයි නුතන පරපුර ආදරය ගැන තියන අදහස. ලියුම් ලියපු පැරණි පරම්පාරව ආදරය ගැන හිතපු විදියත්, අයි ෆෝන් පරිශීලනය කරන නුතන පරපුර ආදරය ගැන හිතන විදියත්, ලෝකය තාක්ෂනයත් සමග මිනිස් සිතුවිලිත් ඒ හා සමගින් වෙනස් වෙන එක ගැන බොහෝ මිනිසුන්ට තියෙන්නේ විවේචනයක්. පැරිණි පරම්පාරව දැන් හැදෙන පරම්පාරාවට වඩා ගොඩාක් හොඳයි, ආදරයේ පරමාදර්ශී පැරණි පරම්පරාවේ තිබුනා වගේ අතාර්කික දේවල් ගෙනහැරපාන්න කිසිදු විටක කෞශල්‍යා උත්සාහ කර නැහැ. නමුත් නූතනයේ මිනිස් සම්බන්ධතාවයන්වල ඇති ව්‍යාජ ස්වරූපයන් සහ මිනිස් ආත්මයන්වල ඇති හිස්කමත්, නිම්ලලාගේ අවිඥානය තුල වැඩකරන්නේ කොහොමද සහ එහි ඇති දේශපාලනය කුමක්ද කියන එක මුළු පොත පුරාවටම සැරින් සැරේ ප්‍රකාශ කරනවා. ෆ්‍රෙඩ්රික් ජේම්සන් Fredric Jameson වගේ චින්තකයෙක් නුතන සමාජයේ සාහිත්‍යය, කලාව හා දේශපාලනය ධනවාදය තුල වටහා ගන්න වෙන්නේ පසුධනවාදයේ සංස්කෘතික තර්කනයක් ලෙස කියන එක අවධාරණය කරනවා. ඔහු කියන්නේ යම් දෙයක් මත ආශක්ත වීමෙන්, එසේත් නැතිනම් එය නිර්ධය ලෙස බැහැර කිරීමෙන් එහි දේවල්වල යතාර්තමය ස්වරුපය ග්‍රහණය කල නොහැකි බවයි. කෞශල්‍යා නිම්නාගේ ඉතිහාසය හරහා උත්සාහ කරලා තියෙන්නේ ජේම්සන් කියන මේ දේශපාලන යථාර්ථය කියල පොතේ අන්තර්ගතයෙන් අපට හැගෙනවා. ඒ නිසා කෞශල්‍යා ගේ පොත අප වටහා ගත යුත්තේ සුසමාදර්ශී සාක්ෂියක් මිස එහි අතීතවෙදනාව Nostalgia මත හඬා වැටීමෙන් නොවන බව කෞෂල්‍යයා ගේ සාහිත්‍යමය වාග් විලාසයේ ඇති කාලයේ ජීවමාන භාෂාව තුලින් පවා ඔහු ප්‍රකාශ කරන්න සමත්වී තිබෙනවා.

විකල්ප දේශපාලනික උත්තරයක් නැති සමාජ පසුබිමක් තුල නුතන පරපුරේ ඇති බුද්ධිමය අවරසිකත්වය ගැන සහ එහි ඇති හිස් සාංකාමය ස්වභාවයන් සහ නුතන ගුවන්විදුලි හා රුපවාහිනී නාලිකා මගින් කරන ව්‍යාජත්වයන් සහ එහි ඇති හිස්කමේ ස්වභාවය ගැනත්, කෞශල්‍යා සඳහන් කරනවා.

‘ඇත්තටම උඹට හිතෙන්නේ නැද්ද අපි මේ ගෙවන ජීවිතේ කිසි තේරුමක් නෑ කියල. බලපන් අපි කරන මේ ජොබ් එකේ හැටි. අපේ රේඩියෝ චැනල්ස් මිනිස්සු අහන්නේ සල්ලි දෙන හින්දා. ලැජ්ජා නැද්ද බන්. ටීවී චැනල්ස් ටික ගනින් ඒත් ඒ වගේනේ. මොනවාද උන් කරන්නේ මොකක් හරි පොලිටිකල් පාටි එකකට හරි හොර පොලිටීෂියන් කෙනෙකුට හරි කඩේ යන එක. මිනිස්සු අන්දලා රේටිංග්ස් වැඩි කර ගන්න ඕනා ජරාවක් පෙන්නන එක. අඩු තරමේ ඕකෙ වැඩ කරන එකෙක්වත් ඔය චැනල්ස් බලන්නේ නැහැ. මේ ගෝත කොම්පැනියට පුළුවන් තරම් සේල්ස් හොයල දෙන එක තමයි අපි දෙන්නා කරන්නේ’

ඉතිං‍! ආදරයේ, දේශපාලනයේ සහ තවත් බොහෝ පරමාදර්ශයන් වියැකී යමින් සිටින මේ වගේ කාලවකවානුවක සහ මිනිස් කේන්ද්‍රයේ ඇති සාරාත්මක ගුණයන් සහ හැගීම් සැහැල්ලුවට ලක්වෙන යුගයක තමයි නිම්ලලා මෙලොවට උපදින්නේ. නිම්ලලා ගේ අවිඥානය ගොඩනැගෙන්නේත් ඔවුන්ගේ සමාජ සන්දර්භයට සාපේක්ෂව බවත්, ඉතිහාසය විසින් ඔවුන්ට කිසිවක් ග්‍රහණය කරගැනීමට නොහැකි වීමත්, අනාගතය සඳහා වර්තමානයේ කිසිවක් පැහැදිලිව දකින්නට නැති ලෝකයක් තුල තවමත් සාදා නිම කල නැති නිවාස සංකීර්ණයක ගයන්නට නියමිත ගීතය කුමක්දැයි කියා උපන්දින සාධයකට සැරසෙයි. කෞශල්‍යා නිම්නාගේ ඉතිහාසය හරහා නිර්නායකයන් දීමට උත්සාහ නොකරයි. මම හිතන විදියට මෙහි ඇති විශේෂත්වයත් එයමයි. පවතින සමාජ දේශපාලන සමාජ සන්දර්භයේ ඇති හිස්කමම පොත කියවා අවසානයේ පාඨිතිකාවට ද ඒ හිස්කම දැනෙන්නේ කෞශල්‍යා ගේ සමාජ දේශපාලන සවිඥානිකත්වයේ ඇති අවබෝධය නිසාය. මගේ මේ වියමනද මේ පොත ගැන නිශ්චිත විනිශ්චයක් දීමට හෝ පොත ගැන හා කෞශල්‍යා සමග ප්‍රතිවිරෝධතාවක් ඇතිකරගැනීම නොවේ. යම්කිසි බුද්ධිමත් කියවීමකට තව දුරටත් පුළුල් කිරීමට ගත් උත්සාහයකි. ඒ නිසා මම හිතනවා විචාරය කියන මිනුම්දඬු වලට මගේ මේ ලිවීම එයට හානියක් නොවේ කියා. පිටු හයසිය හැත්තෑහයකින් සමන්විත මේ පොත ගැන මේ වගේ පොඩි ලිපියකින් විග්‍රහ කරන්න අමාරුයි. ඒත් සේපාල් ගේ අණට ගරුකරමින් සහ alchemist සඟරාවේ ඉඩකඩ ගැන හිතල මේ සඳහනත් කරමින් ලිපිය අවසන් කිරීමට සිතුවෙමි.

නිම්ලලා නියෝජනය කරන නූතනයේ දේශපාලන සමාජ සවිඥානයේ අසමත්කම ප්‍රකාශමාන වෙන තැනක් පොතේ හයසිය හැටහතර සහ හයසිය හැටපහ පිටුවල සඳහන් වෙනවා. විදෙශ් රටක ජීවත්වන නිම්නාගේ සමීපතම මිතුරියක් වන තාරා නිම්නා ගේ විසිපස්වෙනි උපන්දිනයට ස්කයිප් ඔස්සේ සුබ පතන්නේ ජර්මනියේ බර්ලින් තාප්පය බිඳ වැටී වසර විසිපහක් සමරණ මොහොතේ මිනිසුන්ගේ ප්‍රීති ගෝසා පවත්වන තැන ඉඳලයි.නිම්නා තාරා ගෙන් අහනවා ඔය පිටුපසින් ඇසෙන ගෝසාව මොකක්ද කියල. තාරා කියනවා බර්ලින් තාප්පය බිඳ වැටිලා අවුරුදු විසිපහක් නිසා ඒ නිදහස සමරණ මිනිසුන්ගේ ප්‍රීති ගෝසාව කියල. නිම්නා අරවින්ද ගෙන් අහනවා ‘ මොකක්ද අප්පා ඔය බර්ලින් වෝල් එක කියන්නේ කියල’ අරවින්ද ඒ ඓතිහාසික සිද්ධිය නිම්නාට පැහැදිලි කරනවා.

‘බර්ලින් වෝල් එක කියන්නේ ඉස්සර නැගෙනහිර ජර්මනියයි බටහිර ජර්මනියයි වෙන්කරලා හදපු තාප්පේ. දෙවැනි ලෝක යුද්ධෙන් ජර්මනිය පරාජය වුනාට පස්සේ ජර්මනිය නැගෙනහිර පැත්තේ සමාජවාදී වුනා රුසියාවේ බලපෑමෙන්. බටහිර පැත්ත ධනවාදී විදියට තිබුනා ඇමරිකාව වගේ. ඒත් හැමෝම සමාන විදියට ජීවත්වෙන එක සහතික කරන්න නැගෙනහිර ජර්මනියට සිද්ධ වුනා මිනිසුන්ගේ නිදහස සීමා කරන්න. මිනිස්සු නිතරම ට්‍රයි කළා බටහිර ජර්මනියට පැනල යන්න. ඒ හින්දා අන්තිමට 1960 ගණන්වල නැගෙනහිර ජර්මනිය තීරණය කරනවා දේශසීමාව දිගට ලොකු තාප්පයක් හදන්න. උස තාප්පයක්. ඒත් මිනිස්සු දිගටම මේ තාප්පෙන් පැනල බටහිරට යන්න උත්සාහ කළා. ඒ හින්දා මිනිස්සු සිය ගානක් මැරිලත් තියනවා වෙඩි කාලා. වෙඩි කාගෙන වුනත් බරහිරට පැනල යන්න මිනිසුන්ට තිබ්බ උවමනාව නං හරිම පුදුමයි. මං හිතන්නේ සමානාත්මතාවයට වඩා මිනිස්සු ආසා නිදහසට නිමී’

අරවින්ද ඉතාමත් දුක්බරව මේ කතාව නිම්නාට කියන විට, නිම්නා එකපාරටම අහනවා ‘ ඉතිං දැන් මොකද ඒ තාප්පෙට වෙලා තියෙන්නේ’ කියල. ‍මම හිතන්නේ නිම්නා මේක අහන එක ඇතුලේ ලොකු දේශපාලනයක් තියනවා අපිට නුතන සමාජය කියවගන්න. ඒ කියවා ගැනීම පාඨිකාවටද බරකරමින් , කිසිම විචාරයක් සම්පුර්ණයෙන්ම නිමාවට පත්වූවක් නොවේය කියන ආස්ථානයේ සිට, අරවින්දගේ මේ ප්‍රකාශයෙන් මගේ මේ වියමන හමාර කරමි.

‘ඔයා ඉපදෙන දවස වෙනකොට නැගෙනහිර ජර්මනියේ මිනිස්සු නිදහස ඉල්ලලා සටන් කරන්න පටන් අරන් තිබුනේ. හරියටම ඔයා ඉපදෙන දවසේ නැගෙනහිර ජර්මනියට සිද්ධ වෙනවා මේ දේශසීමා විවෘත කරන්න. බර්ලින් තාප්පය බිඳ වැටෙනවා කියන්නේ ඒකට. ඉන් පස්සේ නැගෙනහිර ජර්මනිය සමාජවාදයත් ඉවර වෙනවා. ඒත් එක්කම ලෝක සමාජවාදී කඳවුර ම ඉවර වෙනවා.මොකද ඒ හැම රටකම නිදහස ඉල්ලලා මිනිස්සු අරගල කරන්න පටන් අරං තිබුනේ’

දැන් ආකාස උයන පුරා පැතිරී යන මේ හැඳින්වීමේ සංගීතය අවසන් වූ සැනින් ගැයෙන්නට නියමිත ගීතය කුමක් විය හැකිද ?

 

-සාලිය ඉඳුරුවිතාන

Leave A Reply

Your email address will not be published.

20 + 4 =