සිරව බලා සිටින මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයෝ

 

මුළුමහත් ලෝකයම එකම වෛරසයකින් වෙලාගෙන මාස දෙකකටත් එහා දවස් ගතවී ඇත. නමුත් තවමත් සෑම රටක්ම, සෑම නගරයක්ම, සෑම මිනිසෙකුම පාහේ ඉන් පීඩා විඳිමින් සිටියි. තවමත් කොවිඩ් 19 නම් එම වෛරසය සඳහා නිසි ප්‍රතිකාරයක් හෝ නිසි ඖෂධයක් නොමැත. මේ ගෙවෙන්නේ එවන් තත්වයක මුළු මහත් සමාජයටම ඊට හැඩගැසෙන්න සිදුව ඇති දවස්ය.

පෙර මෙන් මිනිසුන්ට සමාජයේ නිදහසේ හැසිරිය නොහැකි තත්ත්වයක් යටතේ, විනෝදය, ගමන් බිමන්, හමුවීම් මෙන්ම රැකියාව, අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි මූලික අවශ්‍යතා කෙරෙහිද සීමා මායිම් , නීති රීති පැනවෙමින් පවතියි. එසේ සෑම රටකටම තම තමන් ගැන වගකියාගනීමට සිදුව ඇති සමයක ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ පරිපාලනයේ ප්‍රමාණයට තමන්ගේ මිනිසුන් ගැන බලා ගනියි. එය අගය කළ යුතුය. විදෙස්ගවත විවිධ ආකාරයකට ජීවත්වන ඒ ඒ ජනයා පිළිබඳව තම රටෙහි පුරවැසියන් ගැන බොහෝ රටවල් සිය අවදානය යොමු කරයි. ඔවුන් නැවත ගෙන්වා ගැනීම හෝ නැවත ගෙන්වාගන්නා තෙක් ඔවුන්ව සුරක්ෂිත වන බවට තහවුරු කරයි. ඒ නිසාම එවැනි රටවල් හී පාලනාධිකාරිය මිනිසුන්ගේ ප්‍රශංසාත්මක අවදානයට ලක්විය.
එවන් ලෝක තත්වයක් යටතේද ලංකා අප මේ සටහන් තබන්නේ රටේ පාලනාධිකාරියට අතපසු වූ හෝ ඔවුන් අවධානය යොමු නොකළ මිනිසුන් පිරිසක් පිලිබඳවය. ඒ සංචාරක පුරවරයක් ලෙස ප්‍රකට ලංකාවට නුදුරින් පිහිටි මාලදිවයින රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් ගැනය. මේ වන විට විදෙස් ශ්‍රමිකයින් ලෙස ඔවුහු ඉතා බරපතල ගැටුම්කාරී තත්වයකට මුහුණ දෙමින් සිටිති. ඇතැම් පුද්ගලයන්ගේ ජීවනෝපාය මාර්ගයන්ද අහිමි වී ගොස් ඇත. මාලදිවයින් රාජ්‍යය යනු සංචාරක කර්මාන්තය මූලික ආදායම් මාර්ගයක් කරගනිමින් ගොඩනැගුනු රාජ්‍යයකි. සමස්ත ලෝකයේම සංචාරක කර්මාන්තය මුළුමනින්ම පාහේ බිඳ වැටී ඇත. එවන් තත්වයක් යටතේ මාලදිවයින් හී සංචාරක කර්මාන්තයේ රැකියා අවදානමකට ලක්වීම සාමාන්‍ය කරුණකි. නමුත් අසාමාන්‍ය කරුණ වී ඇත්තේ තමන්ගේ විදෙස්ගත ශ්‍රමිකයන් පිරිස ගැන ලංකාව තවමත් අවදානය යොමු නොකිරීමයි.
මේ වන විටත් ලංකාවට නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් මාලදිවයින් රාජ්‍යයේ බලා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිස 6500 ක් පමණය. ලංකාව තුළ මේ මොහොතේ එතරම් පිරිසකට අලුතින් නිරෝධායන පහසුකම් ලබාදීම අසීරු බව දන්නා ඔවුන්ගෙන් 5000 ක පමණ පිරිසක් දැනටමත් මාසයක පමණ කාලයක් සිය නවාතන්වලම සිට නිරෝධායනය වී ඇතත් ඔවුන් ලංකාවට ගෙන්වාගැනීම පිලිබඳ ලංකා පාලනාධිකාරියේ ක්‍රියාකලාපය තවමත් සෘණ ය.
ඒ පිළිබඳව මාලදිවයිනේ දැනට සිරව සිටින පිරිස් එක්ව Back To Home නමින් සංවිධානයක් ගොඩනඟා තිබේ. මේ එහි සංවිධායක තුසිත මහේන්ද්‍ර ‘ලංකා’ වෙත පැවසූ අදහස් ය.

තුසිත මහේන්ද්‍ර

“මේ ප්‍රශ්නෙත් එක්ක අපි 2500 කටත් වැඩි පිරිසක් එකතුවෙලා Back to Home නමින් සංවිධානයක් හැදුවා. වැඩිපුර අපිත් එක්ක ඉන්නේ මලදිවයිනේම ජීවත් වෙන කට්ටිය. වෛරස් එක නිසා අප්‍රේල් 15 වෙනිදා ලොක් ඩවුන් එකෙන් පස්සේ අපෙන් 90%කට විතර රැකියා ප්‍රශ්න ඇවිල්ල තියෙනවා. වැටුප් කපාහැරීම්, වැටුප් රහිත නිවාඩු, වගේ බොහෝ ගැටළු ඒ අතර තියනවා. මාලි සිටි එකේ ඉන්න අයට කෑම බීම නැහැ. ඒ වගේම අපාර්ට්මන්ට් දීල තිබුණත් දැන් ඒවට ගෙවන්නේ නැතුව ඉන්නවා. සමහර අයට කෑම බීම වෙනුවෙන් ලබාදෙන මුදල පවා ලැබෙන්නේ නැහැ. මුදල් අතේ තිබුණත් කන්න විදියක් නැහැ. රෙස්ටුරන්ට් තිබුණත් ඒවා මේ වෙද්දී වහලා. හුඟක් අපාර්ට්මන්ට් වල කිචන් ෆැසිලිටිත් නැහැ. මේ නිසා අපේ මිනිස්සු පත්ත්වෙලා ඉන්න අසරණකම විශාලයි. තවත් ඉන්නවා පොඩි ළමයි, ගැබිණි මව්වරු, අසනීප හැදුණු මිනිස්සුයි…වගේ හුඟ දෙනෙක්.

ඒත් මේ කාගැනවත් ලංකාවේ රජයට කිසිම හැඟීමක් තියනවා කියල අපිට පෙන්නේ නෑ. ලොක් ඩවුන් එකෙන් පස්සේ අපි ගොඩක් මීඩියා වලට මේ ගැන කිව්වා. දෙන්න පුළුවන් රජයේ සියලුම ආයතන වලටයි, සියලුම නියෝජිතයින්ටයි අපි ලියුම් යවල මේ ගැන කියලා තියනවා. ඒත් ඒ කිසි කෙනෙක්ගෙන් යහපත් ප්‍රතිචාරයක් මේ වෙනකන් ලැබිල නෑ. මාසෙකට පස්සේ පළවෙනි ෆ්ලයිට් එක මැයි 14 වෙනිදත් තවත් මාසෙකට පස්සෙ දෙවෙනි ෆ්ලයිට් එක ජූනි 16 වෙනිදත් විදියට ෆ්ලයිට් දෙකක් මෙහෙන් ලංකාවට ආවා. එතැනදී අපි හිතුවා අඩුම තරමේ හුඟක්ම අසරණකමට පත්වෙලා ඉන්න මිනිස්සු ටිකවත් යවයි කියල. ඒත් එහෙම වුනේ නැහැ. මෙහෙ තියෙන ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේත් මේ වෙද්දී මහකොමසාරිස්වරයෙක් නෑ. එතැන සිද්ධවෙන දේ ගැන අපිට පැහැදීමකුත් නැහැ. අපි දන්නේ නැහැ ලංකාවට ෆ්ලයිට් එකක් එන දවසක්. කවද්ද, කොහොමද යන්නේ, යන්න මගීන්ව තෝරාගන්නේ කොහොමද කියන දේවල් ගැන කවුරුත් මොකුත් දන්නේ නෑ. අපි සංවිධානය වෙලා අපිම සල්ලි එකතුකරගෙන තමයි අදටත් මාලි සිටි එකේ මිනිස්සු 55 දෙනෙකුට දවල්ට රෑට කෑම දෙන්නෙ. මහකොමසාරිස් කාර්යාලයට අපි ගන්න කෝල් ගැනවත් ගානක් නැහැ. ලාංකිකයන් විදියට අපි ඉතාම කලකිරීමෙන් තමයි ඉන්නේ. මේ වෙද්දී මාලදිවයිනේ වෛරසය අසාදිත රෝගීන් 2217 ක් ඉන්නව. 1803 ක් සුවය ලබල තියනව. මේ තියෙන තත්වය යතාතත්ත්වයට පත්වීම ඉක්මන් උනත් අපේ රැකියා ගැන අර්බුදය එහෙමමයි. මොකද අපි මෙතන හිටිය කියල අපිට එක ඩොලර් එකක්වත් උපයන්න බැහැ. අතේ තියන මුදලුත් නැතිවෙන එක විතරයි වෙන්නෙ. මේ ගැන තොරතුරු අපි ශ්‍රී ලංකා රජයට දන්වලා මේ මිනිස්සුන්ව ලංකාවට ගෙන්වා ගන්න කියල ඉල්ලීම් කරද්දී ලංකා රජයෙන් අපිට දැනුම්දුන්න දේ තමයි ‘ලංකාවට දැනට ගන්න විදියක් නෑ..’ කියන එක. අපි හැමදාම කළේ ජොබ් එක කරලා ලංකාවට ඩොලර් යවපු එක. මේ ප්‍රශ්නෙදි තරම් අපි ඉතිහාසේ කිසිම දවසක අසරණ වෙලා නෑ…..”

ඉන්දියාව, පිලිපීනය, ඉන්දුනීසියාව, බංගලාදේශය වැනි රටවල් සිය පුරවැසියන් නැවත තමන්ගේ රටට සුරක්ෂිතව ගෙන්වා ගන්නා වාතාවරණයක මාලදිවයින් රාජ්‍යයේ වෙසෙන ලාංකිකයින් තවමත් ඔවුන් විසින්ම ගොඩනගාගත් සංවිධානයක් විසින්ම එකිනෙකා ගැන බලාගනිමින් ඇත.

සියල්ලන්ම ගැන සිතමින් එරටෙහිම නිරෝධායනය වෙමින්, බහුතර දෙනා ගුවන් ටිකට් පත් වෙනුවෙන් සිය වියදම දරා ගැනීමට සූදානම් වෙමින්ද ඔවුන් ලංකා රජයට තමන් ගෙන්වා ගත හැකි ක්‍රම කිහිපයක් ඉදිරිපත් කර ඇතත් ඔවුන්ට මේ වනතුරුත් පිළිතුරක් ලැබී නොමැත.
මේ වනවිටත් වෛරස් තත්වය මාලදිවයින පුරා වර්ධනය වෙමින් ඇති තත්වයක ලාංකික ශ්‍රමිකයෝ තවමත් සිය රැකියා අවදානමද දරාගනිමින් මාලදිවයින තුළ රැදී සිටිති. ඔවුන් බලාපොරොත්තු දල්වාගෙන සිටින්නේ කිනම් මොහොතක හෝ නැවත සිය මව් රට කරා යාමට අවස්ථාවක් ලැබෙන තුරුය.

ඔවුන් ඉල්ලා සිටින්නේ මාලදිවයින වෙත මීළඟට පැමිණෙන පළමු ගුවන් යානයෙන්ම අත්‍යවශ්‍යම මගීන් පළමුව රැගෙන යන ලෙසය. ඒ වෙනුවෙන් ඔවුන් පවසන පරිදි නිසි ලෙස පුද්ගලයින් ලැයිස්තුගතකර අදාළ බලධාරීන් වෙත ලබාදී තිබේ. නමුත් තත්ත්වය තවමත් කනගාටුදායකය. ඔවුහු සියලුදෙනා පෙර කී කරදර කම්කටොලු සියල්ලත් සමඟ තවමත් මාලදිවයින් රාජ්‍යයේය සිරව සිටිති. තමන්ගේ මව්බිමෙන් තමන්ව යලි ගෙන්වා ගැනීම මේ දක්වා ප්‍රතික්ෂේප කිරීමේ වේදනාව විඳිමින් තව කොපමණ කලක් මෙසේ බලා සිටීමට සිදුවේදැයි නඟන පැණයට පිළිතුරු දේ ද?

– වරුණ උදේශ් ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

9 + nineteen =