සිනමාවට පිස්සුවෙන් ආදරය කරන සමාජයක් ගොඩනැඟෙනවා නම් ඒක මරු

– අනුෂා සිවලිංගම්

අනුෂා සිවලිංගම් පසුගිය මාර්තු 13 වෙනිදා පර්යේෂණාත්මක කෘතියක් එළිදැක්වූවා, දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය ගැන. අද කතා බහ ඒ ගැනයි.

● ඔබ සිනමාවට හා සාහිත්‍යයට මේතරම් ළැදි වෙන්න හේතුව, මෙහෙම පොතක් කරන්න හේතුව ඔබේම වචනවලින් කිව්වොත්?

සාහිත්‍යය කියල ගත්තොත් සිනමා සාහිත්‍යයට තමයි මම වැඩිය කැමති. ඒක ඇත්තටම පිස්සුවක්. හැමදාම රෑට චිත්‍රපටියක් නොබලා මම නින්දට ගිය දවස් මට මතක නැති තරමට සිනමාව මගේ ළඟින්. හැම චිත්‍රපටයක්ම බලනවා. ඒත් වැඩිපුර කැමති දකුණු ඉන්දියානු දෙමළ චිත්‍රපටවලට. මොකද, හැමදාම බලන්න තරම් චිත්‍රපට නිෂ්පාදනය වෙනවා. මං විතරක් නෙමෙයි අපේ ගෙදර අයත් හැමදාම චිත්‍රපට බලනවා. වරක් බලපු චිත්‍රපටයක් හෝ බලනවා. තාත්තා ඉස්සර ඉඳන්ම චිත්‍රපටවලට දැඩි ලෙස ආදරය කරපු කෙනෙක්. අපේ මල්ලිට මට වඩා චිත්‍රපට පිස්සුවක් තියෙන්නෙ. නළුවන්ගේ පෝස්ටර් ගෙදර අලවාගෙන ඉන්න තරම්. එයාලගේ උපන් දින ගමේ යාළුවො එකතුවෙලා සමරලා, කේක් කපලා, ඒවා ෆොටෝ අරගෙන ෆේස්බුක් එකේ ෆෑන්ස් ක්ලබ් ඒකට ටැග් කරන තරම් පිස්සුවක් ඒක. ඒත් සිනමා සාහිත්‍යයට ළැදිවීම හා මෙවැනි පොතක් කිරීම මට අනුව දෙකක්. ලංකාවේ දෙමළ සිනමාව විශේෂයෙන් ’83 න් පසු නිර්මාණය වූ සිනමාවක් ගැන බොහෝ අය දන්නෙ නැහැ. ඒ අයට දැනගන්න තමයි දෙමළ සිනමාව පොතක් විදිහට ලියල තියන්න ඕනෑ කියල මං හිතුවේ. ඇත්තටම සමහරු දන්නෙ ලංකාවේ නිෂ්පාදනය වෙන චිත්‍රපට එකක් හෝ දෙකක් ගැන විතරයි. නැහැ… මට ඕන වුණේ ගොඩක් තියනවා කියලා ඒ අයට කියන්න.

ඔබේ පොතේ කවරයේ හැඳින්වීමේ තියෙනවා දෙමළ සිනමාවෙ බොහෝ තේමාවන් ආදරය සම්බන්ධව ගලාගෙන යන කතාවල් කියලා. ඇයි ඔබ හිතන්නෙ තිස් වසරක යුද කතාව සිනමාවෙන් කතා කළ යුතුයි යන්න….?

ආදරය ගැන කතා කරන්න පුළුවන් සිනමාවෙන්. වෙන ඕනෑම දෙයක් ගැන වුණත් කතා කරන්න පුළුවන්. සීමාවක් නැහැ. ඒ වගේම තිස් වසරක යුද කතාව සිනමාවෙන් පමණක් නෙමෙයි හැම මාධ්‍යයකින්ම කතා කළ යුතුයි. මොකද තිස් වසරක යුද කතාව තාම කතා කරල ඉවර නැහැ කියල මම දන්නවා.

● උතුරේ ජනතාව දෙමළ සිනමාවට දක්වන කැමත්ත ගැන ඔබට අදහසක් තියෙනවද?

උතුරේ නෙමෙයි, ලංකාවේ. ඔබ අදහස් කරන්නෙ දෙමළ කතා කරන ජනතාවද? දෙමළ කතා කරන හැමෝටම දෙමළ සිනමාව කියන්නෙ එක්තරා පිස්සුවක්ම තමයි. ඒක හරි ලස්සන සංස්කෘතියක්. ඒත් ඒ අසීමිත පිස්සුව ලංකාවේ හදන දෙමළ චිත්‍රපටවලට නැහැ. ලංකාවේ හදන දෙමළ චිත්‍රපට බලන යම්කිසි පිරිසක් අද ඉන්නවා. ඒවා අධ්‍යාපනික කාමරයෙන් නැතිනම් සංවාද මණ්ඩපවලින් එළියට නොයන සංස්කෘතියක් පමණයි. පිස්සුවක් ලෙස ලංකාවේ හදන දෙමළ චිත්‍රපටවලට ආදරය කරන පිරිසක් නැහැ. බහුතරයක් දන්නෙවත් නැහැ. හැබැයි පිස්සුවක් වගේ ආදරයක් නැති වුණත් ලංකාවේ සිනමාවට ආදරය කරන සුළු හෝ පිරිසක් ඉන්නවා. ඒ ගැන සතුටුයි.

● ලාංකේය දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාව එහෙමත් නැත්නම්, ශ්‍රී ලාංකේය ජාතිය දෙමළ සිනමාව ගැන දක්වන ආකල්ප ගැන ඔබගේ අදහස මොකක්ද?

පොදු ආකල්පය මෙහෙමයි කියල කියන්න කාටවත් හැකියාවක් නැහැ. කියන්න අයිතියකුත් නැහැ කියලා මම හිතනවා. ඒවා සිනමාවෙන් සිනමාවට අනුවත් වෙනස් නේ. ඒත් මං හිතන්නේ මේ හැමෝම වැඩිපුර බලන්නේ දෙමළ චිත්‍රපට. නැත්නම් අද වන විට ප්‍රසිද්ධ සිංහල භාෂා නාළිකා හැමදාම දවල්ට, රෑට දෙමළ චිත්‍රපට විකාශය කරන්නෙත් නැහැ. ඒත් ඒවා දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට. මෑතක් වනතුරු ඉන්දියාවේ දෙමළ චිත්‍රපට දැඩි වාණිජමය ඉලක්කගත චිත්‍රපට. මට අනුව සමහර වෙලාවට ඒවායේ විඳින්න දෙයක් නැති තරම්. ඒත් අද වන විට ඒ දැඩි වාණිජමය චිත්‍රපට කර්මාන්තයට කලාත්මක සිනමාව ඇතුළත් කරමින් චිත්‍රපට හදනවා. දැන් ‘ටේ‍රන්ඞ්’ එක ටිකක් වෙනස්වෙලා. ප්‍රේක්ෂකයාට හිතන්න, විඳින්න ගොඩක් දේවල් තියෙන ඒ සිනමා කෘති දැඩි වාණිජමය ලෙස ලාභ ලබනවා. හදන එයාලටත් හොඳයි. බලන මං වගේ අයටත් හොඳයි. ඉන්දීය දෙමළ සිනමාවේ සාර්ථක තැන එතැන.

● එකම භාෂාවක් කතා කරන ජාතිකත්ව දෙකක් වන දෙමළ සිනමාලෝලියා හා මුස්ලිම් සිනමාලෝලියා වෙතට දෙමළ සිනමාවේ ලාංකේය ප්‍රයත්නය සාර්ථක ලෙස සමාජගත කළ හැකි වේ යැයි ඔබ සිතනවාද?

වෙනත් පොතකට වඩා සාර්ථක ලෙස සිනමා පොතක් දෙමළ කතා කරන සමාජයට ගෙනියන්න පහසුයි. මට ඕනෑ වුණේ ලාංකේය ප්‍රයත්නය ලියලා තියන්න. මම මේ තොරතුරු සොයාගෙන යනකොට නොදැනුණු වටිනාකමක් පොත ලියලා අවසන් වුණාම දැනුණා. මොකද හැමෝම දන්නවා මුලින්ම මුද්‍රණය වුණේ සිංහල භාෂා පොත. මේ ගැන දැනගත්ත බොහෝ අය කවදද දෙමළ භාෂා පොත මුද්‍රණය කරන්නෙ කියලා ඇහුවා. විදේශ රටවල සිටින දෙමළ කතා කරන අය පවා.

● උතුරේ සිනමා හල්වල වර්තමාන තත්ත්වය මොන වගේද?

උතුරේ, දකුණේ කියල වෙනසක් නැහැ මට හිතෙන විදිහට. මේ සෑම සිනමා හලකම වැඩි වශයෙන් පෙන්වන්නෙ දැවැන්ත චිත්‍රපට. ලංකාවේ දෙමළ චිත්‍රපට පෙන්වන්නෙම නැහැ කියන්න බැහැ. මෙතෙක් නිෂ්පාදනය වුණු දෙමළ චිත්‍රපට සෑම එකක්ම වගේ සිනමා ශාලාවල පෙන්වලා තියෙනවා. වැඩි වශයෙන් උතුරේ, යාපනයේ තිබෙන සිනමාශාලාවල. ඒත් දින කිහිපයක්වත් පවතින්නෙ නැහැ. තිබුණත්, ඒවට යන සෙනඟ ඉතා අවමයි. ඒත් මම ආසයි ඉස්සර අපේ අප්පප්පලාගේ කාලේ, තාත්තලාගේ කාලේ හැදුණු ලංකාවේ දෙමළ චිත්‍රපටත් බලන්න. දවස් ගාණක් හවුස් ෆුල් වෙන තරමට මිනිස්සු සිනමා ශාලාවලට යනවා බලන්න. අද අපි ඉන්දියානු දෙමළ චිත්‍රපට බලද්දී ගහන විසිල් ලංකාවේ දෙමළ චිත්‍රපට බලද්දිත් ගහන්න. සිනමා ශාලාව ඇතුළේ කෑගහන්න.

● දෙමළ සිනමා පට සිංහලට දෙබස් කවා විකුණන රැල්ලක් ගොඩනැඟිලා තියෙනවා. ඒ ගැන ඔබේ මතය සඳහන් කළොත්..?

ඒකත් හොඳ දෙයක්. මොනවා කරල හරි සිනමාවට පිස්සුවෙන් ආදරය කරන සමාජයක් ගොඩනැඟෙනවා නම් ඒක මරු. මම ආසයි ඒ උනන්දුවෙන් චූටි හරි ඉඩක් ලංකාවේ දෙමළ චිත්‍රපටියක් බලන්නත් යොදවනවා නම්. ඒක මගේ කැමැත්තක් හෝ ආකල්පයක් විතරයි. ඒ වගේම ලංකාවේ දෙමළ චිත්‍රපටත් සිංහල දෙබස් සමඟ පෙන්වන්නත් ඉඩක් ලබාදෙනවා නම් ඒක ඊට වඩා මරු.

● ගිය අවුරුද්දෙ ‘කෝමාලි කිංග්ස්’ සිනමා පටය තිරගත වුණා. වසර ගාණකට පස්සෙ තමයි දෙමළ අධ්‍යක්ෂවරයෙක් යටතේ ලාංකීය දෙමළ චිත්‍රපටයක් නිර්මාණය වුණේ. ඔබට මොනවද හිතෙන්නෙ චිත්‍රපට නිර්මාණය වීමට මෙච්චර කාලයක් ගැනීම සම්බන්ධයෙන් ?

හ්ම්…. නැහැ. දෙමළ සිනමාවේ ආරම්භයේ සිටම අද දක්වා විකාශනය වෙමින් පවතින සිනමාවට බාධා විවිධාකාරයෙන් ආවත් නැවත සිනමාව නැගිට්ටේ ඉතාම වේගයෙන්. අතීතයේ සිටම මෙහෙමයි. ඔබ අහන ප්‍රශ්නය ගොඩක් දෙනෙක් මගෙන් අහල තියනවා. මෙවැනි ප්‍රශ්න හින්දමයි මම සිංහලෙනුත් පොත ලියා තියන්න කියල හිතුවේ. ස්තූතියි මේ ප්‍රශ්නයට ඇත්තටම. ‘කෝමාලි කිංග්ස්’ චිත්‍රපටිය එන්න මාස ගණනකටත් කලිනුත් ලංකාවේම දෙමළ කතා කරන අධ්‍යක්ෂවරුන් ලංකාවේ දෙමළ චිත්‍රපට නිෂ්පාදනය කරලා තියෙනවා. චිත්‍රපට නිෂ්පාදනය වී තිරගත වෙලා තියෙනවා. මිනිස්සු ඒවා බලල තියෙනවා. ඒ ගැන කතා කරලා තියෙනවා. සම්මාන ලැබිලා තියෙනවා. ගොඩක් අය මේ ගැන දන්නෙ නැහැ.

● ඔබේ හැඳින්වීමෙහි ඔබ තොරතුරු ලබාගත් තම්බි අයියා දේවදාස් මහත්මයාගෙ පොත ගැන විස්තර කියනවා. මීට අමතරව ලාංකීය දමිළ සිනමාව හා සිනමා ඉතිහාසය ගැන ලියවුණු තවත් පොත් තියෙනවාද?

ඒ තරම් විස්තරාත්මක පොතක් නැහැ. එහි තිබෙන්නෙ ’83ට කලින් තිබුණු දෙමළ සිනමාව ගැන පමණයි. ඉතිහාසය ගැන තරමක් තොරතුරු සිනමාව ගැන දෙමළෙන් ලියූ ලිපිවල සහ සිංහලෙන් ලියූ ඇතැම් ලිපිවල තිබෙනවා. ඒත් ඉතා ප්‍රසිද්ධ ඒවා පමණයි. නැතිනම් තිරගත වූ ඒවාවලින් කිහිපයක් පමණයි. බොහෝ තොරතුරු කොතැනක හෝ සඳහන් වෙලා තිබුණේම නැහැ. ඒවා මතක විදිහට හිතේ පමණක් තිබුණු ඒවා.

● ඔබ මේ පොත ලියලා තියෙන්නෙ පර්යේෂණාත්මක ග්‍රන්ථයක් විදිහට. ඒ නිසා සිනමාවට සම්බන්ධ වුණු කලාකරුවන් සොයා යන්නටත් ඔබට සිදු වෙන්නැති. ඇත්තටම ඔබට මුණගැසුණු කලාකරුවන් කවුරුන්ද?

ගොඩක් අය හොයාගෙන ගියා. ඒත් වැඩි දෙනෙක් හිටියේ තවත් කෙනෙකුගේ හිතේ. විශේෂයෙන් යුද කාලයේ නිර්මාණය වූ සිනමාවේ නියැළුණු අය අද නැහැ. සමහරු මැරිලා. සමහරු අතුරුදන්. සමහරු ඉන්න බව දැනගෙන සොයාගෙන ගියා. ටිකක් දුරට වෙන්න සොයාගෙන ගියා. සමහරු අසල්වාසීන් වෙලා හිටියා. ඒත් දැනගෙන හිටියේ නැහැ. දැනගත් විට දැනුණු සතුට මට කියන්න අමාරුයි. ඔවුන් කියපු කතා ගොඩයි. විටෙක ඒ කතා සතුටක් දැනෙන එකක් වුණත් විටෙක ඒවා දරාගන්න බැරි වේදනාකාරී ඒවා. මේ විඳීම් දෙකම මේ පොත කියවන අයටත් දැනුණා නම් මට ඒ ඇති හොඳටම. වෙලාවකට හිතට හරි වේදනාකාරීයි, මිනිස්සු දුක් විඳ හැදූ සිනමාවක්, නැතිනම් සිනමා කෘති ගණනාවක් තියෙද්දී බොහෝ අය ඔවුන් දන්න හෝ බලා තිබෙන කෘති ගැන පමණකින් විනිශ්චයකට එන එක ගැන.

● අවසාන වශයෙන් ඔබෙන් අහන්න කැමතියි, ලංකාව තුළ දැනට පවතින දෙමළ සිනමාව වෙනස් විය යුතුනම් ඒ ගැන ඔබේ අදහස මොකක්ද කියලා?

වෙනස් කරන්න ඕනෑ නැහැ. වැඩි වශයෙන් චිත්‍රපට නිෂ්පාදනය වුණා නම් ඒ වෙනස සිදුවේවි. වෙනස් වෙනස් දේවල් ගොඩක් තියේවි, අපිට බලන්න, සිනමාශාලාවල කෑගහන්න, විසිල් ගහන්න, සංවාද කරන්න. ෆේස්බුක් එකේ අපිට ටික කාලයකට කතා කරන්න, පෝස්ට් දාන්න, ෆයිට් කරන්න, ඊට පස්සේ ටික කාලයකින් අමතකම කරලා දන්න, ගොඩක් මාතෘකා, කතා ඒවාවල තියේවි. ඉතින් වැඩි වශයෙන් ලංකාවේ දෙමළ චිත්‍රපට නිෂ්පාදනය වෙන්න ඕනෑ.

■ සංවාද සටහන – කේෂි සූරියදාස

Leave A Reply

Your email address will not be published.

four − 1 =