‘ගුරුත්වාකර්ෂනයෙන් මිදුණ කරුණා’

විසි වෙනි සියවස තුල දියත් වූ අතිශයින් ම දෘඩ ගරිල්ලා යුද්ධයක සිටි අවසන් සන්නද්ධ ව්‍යාපාර ගණයට වැටෙන සංවිධානයක් තමයි එල්. ටී. ටී. ඊ. එක. එයාල වසර තිහක අල්ලා හිටින යුද්ධයක් ඉන්දියන් සාගර කලාපයේ දියත් කළා. ඉන්දියන් හමුදාව සහ ලංකා හමුදාව කියන දෙකම එක්ක ඔවුන් යුද්ධ කළා. ඒක සෙල්ලමක් නෙවෙයි. ඒ යුධ ආකෘතිය ගැන යමක් කියන්න මම යුධ විශේෂඥයෙක් නෙවෙයි. සහ ගරිල්ලා යුධ ආකෘතිය ලෝකයෙන් සම්පුර්ණයෙන් අවසන් වෙලාද ඒවා නැවත මතු වෙයිද නැද්ද කියන්නත් මට දැනුමක් නැහැ. ඒ ගැන කතා කරලත් දැනට වැඩක් නැහැ.

වාමාංශික දේශපාලනය ඇතුලේ පවා මේ ගරිල්ලා ආකෘතිය තිබුණා. විශේෂයෙන් ලතින් ඇමෙරිකානු කලාපයේ, ආසියාවේ, අප්‍රිකාවේ මේ ආකෘතිය සහිත ගොඩක් සංවිධාන තිබුණ. බෙදුම්වාදී සහ ජාතිකවාදී වගේම අධිරාජ්‍යවිරෝධී ගතිකයන් ඒ තුල තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ මේ ආකෘතිය ලංකාවේ අත්හදා බැලුවා. ඒක අසාර්ථක උණා. ගොඩක් ලෝකේ මේ ආකෘතිය අසාර්ථක උණා. අප්‍රිකානු ජාතික කොංග්‍රසය, පලස්තීන විමුක්ති සංවිධානය, අයර්ලන්ත විමුක්ති සංවිධානය වගේ අය යම් යම් දේශීය ජයග්‍රහණ ඔස්සේ ගරිල්ලා ආකෘතිය අත්හැරියා. බර්ලින් තාප්පයේ බිඳ වැටීම එක්ක වමේ අයගේ බලාපොරොත්තු හරිගියේ නැහැ. එයාලත් ඒක අත්හැරියා. වමේ මොරාල් එක වැටෙනවත් එක්ක වෙනත් අන්තවාදී කොටස් ඒ තැන්වලට ආව. ඉස්ලාමීය ගරිල්ලා සංවිධාන මුලින් වමත් එක්ක ඉඳල පස්සේ ආගම පැත්තට ගියා. නමට හරි ඒ ආකෘතිය ඇතුලේ අද ඉන්නේ එයාල.

අපේ පොඩි කාලේ ඇහුන නම් තමයි ෂයිනින් පාත්, බාස්ක්, කුර්දිෂ් ගරිල්ලා, මාවෝවාදී ගරිල්ලා, කොසොවෝ ගරිල්ලා, සැපටිස්ටා, හමාස් වගේ කණ්ඩායම් (හිස්බුල්ලා එන්නේ තව පස්සේ). මේවා අයිති වෙන්නේ විසි වෙනි සියවසේ සටන් ආකෘතියකට. ඒ කියන්නේ වාමාංශික මතවාදයක් එක්ක, අධිරාජ්‍ය විරෝධය එක්ක සහ ජාතික රාජ්‍ය සංකල්පයන් පාදක කරගෙන පැවති පාලනයන් එක්ක සටන් කිරීම. ස්පීල්බර්ග් ගේ Munich ෆිල්ම් එකේ ලස්සන දෙබස් කිහිපයක් තියනවා. අත්හැර දැමූ ගබඩාවක් අස්සේ සන්නද්ධ කණ්ඩායම් අතර සිදුවන සංවාදයක දී පී. එල්. ඕ. නියෝජිතයා ඒ. එන්. සී. (ආරූඪ නමක්) නියෝජිතයාට කියනවා ‘උඹලගේ ගෝලීය අරගලයෙන් අපිට වැඩක් නැහැ. අපිට ඕනි අපේ රට’ (We don’t care about your international revolution. We want be nations. Home is everything) කියල. මේක විමුක්ති කොටින්ට ත් අදාලයි. එයාලත් ගෝලීය අරගලය විශ්වාස කළ වමේ ක්‍රියාකාරීන් ගොඩක් එළොව යැව්වා. ඒක ගැඹුරු ගෝලීය මත ගැටුමක්.

මුල් කාලයේ චේ වගේ අයිකොන් එකක් එක්ක මේ විමුක්ති සටන් වැඩේ නැගල ගියා. යසීර් අර්ෆත් උනත් සංකේතීය විදියට පිස්තෝලයක් ඉනේ ගහගෙන හිටිය (එක්සත් ජාතීන් ගේ සංවිධානයට පවා එයා ගියේ ඒ පිස්තොලේ එක්ක). ප්‍රභා ළඟ සයිනයිඩ් තිබ්බ. මම මේ කියන්නේ යන්තම් මතකයේ තියෙන දේ. මේ ගැන මීට වැඩිය දන්නා විශේෂඥයෝ ඇති.

කොහොම උනත් මේ ගරිල්ලා සටන් ආකෘතිය ඒ යුගයේ ඇතැම් තරුණ අයගේ පරමාදර්ශය බවට පත් උනා. කට්ටිය අනුරාගික විදියට ඒවත් එක්ක වැඩ කළා (අදටත් එහෙම අය නැතුවාම නෙවෙයි). පස්සේ එක් එක් නිශ්චිත වෙලාවල ඒවායින් වෙන් වෙලා සිවිල් ජීවිත පැත්තට එයාල මාරු උණා (71 කැරළි කරුවෝ ‘සාර්ථක ලෙස’ සිවිල් සමාජ ගත උනා). කරුණා අම්මාන්, පිල්ලෙයාන් සහ එයාලගේ තවත් සිය ගණනක් රනිල් ගේ සාම කතා කාලේ මුල් සංවිධානෙන් කඩල කොළඹට ගේනවා. ඊට පස්සේ අපි දන්නේ කරුණා ඔය ස්ත්‍රීන් කිහිප දෙනෙක් එක්ක රවුම් ගහනවා වගේ දේවල් ටිකක් තමයි. ඒ අතරේ දකුණේ උන් එයාලගේ වැඩ වලට කරුණා අම්බානක පාවිච්චි කරනවා. එයත් එහෙම එයාගේ බොඩි එක පාවිච්චි කරන්න දීල ඉන්නවා. මොකද පරණ ලෝකේ ඉවරයි කියල එයා දන්නවා. ඇස් ගිනිකනා වැටෙන පශ්චාත් ගෝලීය රනිල් වික්‍රමසිංහ ලෝකය අන්ද කයිප්පු වගේ. ගුරුත්වාකර්ෂණයෙන් මිදුනට පස්සේ ඉතිං ඔහේ පාවෙනවා හැර වෙන මොනවා කරන්නද?

මම අහන්නේ පරණ සටන් ආකෘතිය ඇතුලේ දශක දෙකක් විතර ‘සමාජානුයෝජනය’ වෙච්ච මනුස්සයෙක් (සහ එයාගේ කණ්ඩායම) එකවරම කොහොමද සිවිල් වෙන්නේ කියන එක. අනික නිකම් සංවිධානයක් නෙවයි ලෝකයේ ඉතාම දරුණු සටන් ක්‍රම සහ ත්‍රාසය (terror) පාවිච්චි කරපු සංවිධානයක මනුස්සයෙක්. අද එයා ඒ පරණ ලෝකයේ ‘සංකේත පිළිවෙල’ (සංකේත වටිනාකම්) පශ්චාත් යුධ ලෝකයකත් පාවිච්චි කරනවා. එයිනුත් විශේෂයෙන් මැතිවරණයක් වගේ දෙයකදී. විසි එක් වන සියවසේ කාර්තුවකුත් ගිහිල්ල.

අනික කොහොමත් හැමෝම මේ පරණ යුධ මානසිකත්වය වර්තමාන දේශපාලනය වෙනුවෙන් පාවිච්චි කරනවා. කරුණා කළෙත් එක. අපි හැමෝම පරණ ලෝකෙන් නිදහස් නැහැ.

සාමාන්‍යයෙන් යුද්ධය ඇතුලේ හිටපු මිනිස්සු සිවිල් ලෝකයට එනකොට යම් අනුයෝජනය කිරීමක් තියෙන්න ඕනි. ප්‍රතිසංස්කරණය වෙන කාලේ ඇතුලේ ගොඩක් සමාජ වැඩ (social work) දෙනවා ඒ අයට යම් කාලයක් යනකල්. මේ ක්‍රියාදාමය බයිපාස් කරපු කරුණා කොළඹට සහ ලෝකයට ගියේ අමුවෙන් කියන එකයි මගේ මතය. පොඩ්ඩක් හරි ‘මනුස්ස ඇසුරක්’ දෙන්න ඇත්තේ අර ගැහැණු කිහිප දෙනා විතරයි. ඒකත් කරුණා ගේ වීරත්ව සිම්බොලික් එක අස්සේ රිංගල. 2004 එයා සහ එයාගේ ගෝලයෝ එල්. ටී. ටී. ඊ. එකට බායි කිව්වා, කැමා ඇඳුම බිමින් තිබ්බා, සුදු කමිසයක් ඇඳ ගත්තා, කොළඹට ආව. එච්චරයි. දැන් අපේ එවුන් එයාගෙන් ඔබාමා වගේ කතා කරන්න කියල ඉල්ලනවා.

දන්නා එක තමයි ඔය කියල අතඇරියේ…

Munich හි සංවාදය සඳහා පහත ලින්කුවට යන්න.

-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

nine + 19 =