සීඅයිඩී අධ්‍යක්ෂ අත්අඩංගුවට ගන්න – ලසන්තගේ දියණිය පොලිස් කොමිසමට ලියයි !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා එම තනතුරෙන් ඉවත් කොට, වහාම අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණියක වන අහිම්සා වික්‍රමතුංග ජාතික පොලිස් කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

තම පියාගේ ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීමේ සහ සැකකරුවන් ආරක්ෂා කිරීමේ චෝදනාව ඔහුට එරෙහිව එල්ල වී ඇති බවත්, 2019 ඔක්තෝබර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවත් ඇය එම ලිපියේ සදහන් කර ඇත. එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ, වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් අත්අඩංගුවට ගැනීමට අදාළ කටයුතු සිදුවෙමින් තිබියදී ජනාධිපතිවරණය පැවති බවත්, එහි ප්‍රථිඵල නිකුත්වීමෙන් පසු සියල්ල වෙනස් වූ බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන් ය.

පසුගිය මැයි 21 දා ජාතික පොලිස් කොමිසම මගින් මෙම නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයට පත්කිරීමට අනුමැතිය ලබා දී තිබිණි. අහිම්සා වික්‍රමතුංග විසින් ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් වෙත යොමුකර ඇති මෙම ලිපිය, ව්‍යවස්ථාදායක සභාවේ සභාපති, ලේකම් සහ නීතිපතිවරයා වෙත පිටපත් සහිතව යොමුකර තිබේ.

2009 ජනවාරි 08 දා අත්තිඩිය, ගුවන් හමුදා කදවුර ආසන්නයේදී සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරිණි. ඊට ආරක්ෂක අංශ කණ්ඩායමක් සම්බන්ධ වී ඇතැයි යන සැකය පසුව අධිකරණය ඉදිරියේ අනාවරණය විය.

Leave A Reply

Your email address will not be published.

eight − 5 =