ඇවන්ගාඞ් -“කොමිසමට යන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා”

 

“හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් සම්බන්ධ ඇවන්ගාඞ් සම්බන්ධ පැමිණිල්ල විමර්ශනය කරන කොමිසමට යන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා.”
ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අද (18) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළකළේය.

“ජනාධිපති කොමිසම ඉස්සරහ ඇවන්ගාඞ් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අනුර සහෝදරයාත් සාක්‍ෂිකරුවෙකු ලෙස කැඳවන බව සඳහන් වෙනවා. මේ කොමිසමට යන්න අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා. අපි කිසිම චෝදනාවක් සාක්‍ෂි නැතිව ඉදිරිපත් කරන්නේ නැහැ. ඔප්පු කර ගැනීම සඳහා අවශ්‍ය සියලු සාධක අපි ළඟ තියෙනවා නම් විතරක් යම් කිසි පැමිණිල්ලක් කරනවා. අපි සැක මත පැමිණිලි කරන්නේ නැහැ. ඒ නිසා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයත් සම්බන්ධ ඇවන්ගාඞ් සම්බන්ධ පැමිණිල්ල සම්බන්ධයෙන් සියලු සාක්‍ෂි අරගෙන අපේ නීතිඥ මහත්වරුන්ගේ උපදෙස් මත ක්‍රියා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.”

“වන් මෑන් ෂෝවලින් මේක ගොඩදාන්න බෑ”

“මහ බැංකුව වගේ ආයතනවලට නිල ලෙස මැදිහත් වෙනවා වෙනුවට කඩා පනිමින් යන ජනාධිපතිවරයා තමන්ගේ කාර්යභාරය හඳුනා නොගැනීම සහ තනි මතයට වැඩ කරන්න ගියාම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් තිබෙන රටක බරපතළ තත්වයක් ඇතිවෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒ අඩුපාඩුකම් හදන එක පාර්ලිමේන්තුවේ වගකීමක්. නමුත් ව්‍යූහයේ අඩුපාඩුකම් මතු කරමින් ජනාධිපතිවරයා ව්‍යූහයට පිටින් වැඩ කිරීම බරපතළ තත්වයක්. උදාහරණයක් හැටියට මේ වෙනකොට ජනාධිපති විශේෂ කාර්යසාධක බලකා ගණනාවක් පත්කර තිබෙනවා. මේ කාර්යසාධක බලකාවලින් කරන්නේ පවතින ව්‍යූහයට පිටින් වැඩ කිරීමයි. ජනප්‍රියත්වයට ලකුණු දාගන්න දේශපාලන වගකීමක් නොදැරීම බරපතළ තත්වයක් බව අපෙ රටේ ජනතාව තේරුම් ගන්න වෙයි. වන් මෑන් ෂෝවලින් මේක ගොඩදාන්න බැහැ. ”

“මෛත්‍රීපාල කොමිසමට ගේන්නේ නැහැ”

“ඕනෑම ප්‍රශ්නයකට වගකිව යුතු දේශපාලනඥයා ඉවත් වෙලා නිලධාරීයෙකු මත වගකීම් පැටවීම දැන් ක්‍රමවේදය බවට පත්වෙලා. පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් එකට හිටපු අගමැති, හිටපු ජනාධිපති ගේන්න ඕනෑ නැද්ද? එහෙම නොකර හිටපු පොලිස්පති තුමයි ආරක්‍ෂක ලේකම්වරයයි විතරක් ගෙන ඒම තමන්ට දඩයම් කරන්න ඕනැ කරන අයට චෝදනාව පටවලා ඇත්ත වගකීම ගන්න ඕනෑ අය පැත්තකට වීමයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ කොමිසමට ගේන්නේ නැහැ. ඒකට හේතුව මහින්ද රාජපක්‍ෂ මහත්තයලා ඡන්දේ ඉල්ලන පක්‍ෂයේ සභාපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නිසා. මහ බැංකු වංචාවේ චූදිතයෝ ගේන්නෙත් නැහැ. එකම අපරාධ කණ්ඩායමක් එකු වෙලා තම තමන් ආරක්‍ෂා වෙමින් තමන්ට ප්‍රශ්නයක් වන අය මත වරද පටවමින් යනවා.”

“MCC අත්සන් කරන බව පැහැදිලියි”

“මැතිවරණයෙන් පස්සේ එම්.සී.සී ගිවිසුම අත්සන් කරන්න යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියලා එක්සත් ජනපද නිලධාරියෙක් සඳහන් කර තිබුණා. එම්.සී.සී. ගිවිසුම බරපතළ එකක් තමයි. හැබැයි ජනාධිපතිවරණයේදී ඒක තවත් අතිශෝක්තියට නඟලා කථා කළා. නමුත් මේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ ගමන්ම මේක අත්සන් කරන බව අපිට පැහැදිලියි.”

Leave A Reply

Your email address will not be published.

four × 4 =