ජනප්‍රිය දේශපාලනය ඇතුලේ සදාකාලික එකඟතා තියෙන්න ඕනි නැහැ

ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය සමග ඇතිවූ දේශපාලන රැල්ල ලෝකය පුරා විවිධ වූ වෙනස් කම් විවිධ වූ අයුරින් සිදුකරමින් තිබෙනවා. අපේ රටේ ෆ්ලොයිඩ් ඝාතනය වෙනුවෙන් එලියට බැස්ස පෙරටුගාමී එකට කරපු පහරදීම ඇතුලේ දැන් අලුත් දේවල් ප්‍රමාණයකුත් සිදුවෙමින් තියනවා. ඒ තමයි එයාලගේ පුර්වගාමියා වෙච්ච ජ. වි. පෙ. එක්ක යම් පොදු එකඟතා ප්‍රමාණයකට පෙරටුගාමී එකට එන්න පුළුවන් වීම. මේක එකතුවීමක් නොවුනත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඉන්න කඳවුර ඇතුලේ සිදුවෙච්ච සෑහෙන පමණ බලපෑම් සහගත දෙයක්. දැන් අහන්න පුළුවන් එයාලගේ ඉතිහාසේ එච්චරට ප්‍රජාතන්ත්‍රවාදී ද දැන් ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න කියල.

බර්ලින් තාප්පය බිඳ වැටීම එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා

මම කියන්නේ බර්ලින් තාප්පය බිඳ වැටීම එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා තියනවා කියල. ලෝකයේ ගොඩක් වාමාංශික ගරිල්ලා ප්‍රවණතා තිබ්බ කණ්ඩායම් දැන් ප්‍රජාතන්ත්‍ර ප්‍රවාහයට ඇවිල්ලා තියනවා. ඒකෙ හොඳ නරක මොකක් උනත් අපිට මේ පාරේ යම් දුරක් යන්න ම වෙනවා. ඒ යන මාවත ඇතුලේ ගොඩක් ව්‍යුහාත්මක වෙනස් කම් සිදුවෙයි.

විශේෂයෙන් ජ. වි. පෙ. පෙරටුගාමී එක එක්ක යම් අවබෝධයකට ආපු එක එයාලගේ පැත්තෙන් ලොකු පියවරක්. මොකද එයාලගෙම කණ්ඩායමක් වෙච්ච පෙරටුගාමී එක එක්ක යම් එකඟතාවයක් නැතුව අනික් අය එක්ක කොහොමද එකඟ වෙන්නේ කියන එක හැමෝම තුල තිබ්බ ප්‍රශ්නයක්. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරන කඳවුර ඇතුලේ (මෙය දළ නාමකරනයක්) මේ පැමිණි ඉතාම දළ එකඟතාවය නිසා ජ. වි. පෙ. ට දැන් බිඳ වැටිලා තියන මේ කඳවුරේ කේන්ද්‍රීය කාර්යයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය (රනිල් පාර්ශවය) සහ සමගී ජන බලවේගය (සජිත් පාර්ශවය) එයාලගේ සෙවන යටට ගන්න එක එතරම් අමාරු වෙන එකක් නැහැ. මම කියන්නේ සංඛ්‍යාත්මක දෙයක් ගැන නෙවෙයි ගුණාත්මක දෙයක් ගැන.

ඒ ලව් එකට අනාගතයක් තියනවා

ඒ දෙගොල්ල එක තැනකට ආවොත් සුළු ජාතික කණ්ඩායම් එක්ක කරන සාකච්චා පවා සාර්ථක වෙන්න පුළුවන්. එතකොට තමාගේ සංඛ්‍යාත්මක විශාල බව නිසාම මෙච්චර කාලයක් එක්සත් ජාතික පක්ෂය විසින් මේ කඳවුරේ දෛවය තීරණය කිරීම යම් දුරකට නවත්වන්නත් පුළුවන් වෙයි. ඒක නම් ඉතාම වැදගත් දෙයක්. යහපාලන පරමාදර්ශ සම්පුර්ණයෙන් බිඳ වැටුණේ එක්සත් ජාතික පක්ෂයේ සමහර වැඩ නිසා. අනාගත දේශපාලනය ඉස්සරහට ගෙනියන්න එයාල බොළඳ වැඩී (naive). ඒ නිසා මේ කඳවුරේ පරිණත බව අත්පත් කර ගන්නා තැනදී ජ. වි. පෙ. සහ පෙරටුගාමී එක එයාලගේ ඊගෝ එක අත්හැරපු එක නම් මාරයි…ඒ ලව් එකට අනාගතයක් තියනවා.

ජනප්‍රිය දේශපාලනය ඇතුලේ සදාකාලික එකඟතා (eternal consensus) තියෙන්න ඕනි නැහැ. දෙනලද තත්වයන් එක්ක යම් පෑහීමක් තිබුනම ඇති. නොපෑහීම් අවම කරගෙන යන්න තමයි තියෙන්නේ. බැරිම තැනක් ආවොත් ආයෙත් වෙන් වෙන්නත් පුළුවන්. කමක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී ජීවිතය (democratic life) එහෙම තමයි.

කළු ජීවිත නිසා අපේ ජීවිතත් කෙලින් වෙයි ද?

‘කළු ජීවිත වැදගත්’ කියන සටනටත් මිනිස්සු එකතු උනේ ඒ වගේ එකඟතා එක්ක. ඕව සදාකාලික නැහැ. පරස්පරය හැදෙන්නේ ‘අප’ සහ ‘ඔවුන්’ අතර නිසා ‘අපි’ එකතු වෙන්න ඕනි (ගිය සතියේ මිෂෙල් ඔබාමා පටස් ගාල මේක කිව්වා වැඩේ එයාගේ අතට ගන්න – us vs them කියල). මෙහෙත් දැන් ‘අප’ සහ ‘ඔවුන්’ අතර පරතරය ඇතිවෙමින් තමයි යන්නේ…ෆ්ලොයිඩ් නිසා ඒක මැනවින් පෙනුණා. පරණ ලෝකය ආයිත් මතක් උණා. හැබැයි අපි ෆ්ලොයිඩ් එකපාරටම අත ඇරියා…

කොහොම උනත් මගේ පිටුවේ සීමාව තුල කළු ජාතික අරගලය ගැන දිගටම ලියනවා. දැනට මට පුළුවන් එච්චරයි. එයාල එක රැයින් කිව්වා සටන් පාඨ මාරුකරනවා කියල. එයාලට ඒකට ගොඩක් දේශපාලන හේතු ඇති. මම ඒ ගැන මුකුත් කියන්නේ නැහැ. හැබැයි මේ සියල්ල මතුවුණේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කියන ‘නිශ්චිත විශ්වීය සිද්ධිය’ එක්ක. මේ සියල්ල දිග හැරෙන්නෙත් ඒ නිශ්චිත සිද්ධිය එක්ක. ඒක අමතක කරන්න එපා. එයින් ඉගෙන ගන්න ඕනි ගොඩක් දේ තියනවා.

කොහොම උනත් කමක් නැහැ. ඇමෙරිකන් කළු ජාතික අරගලය එක්ක හරි අපේ ජීවිතත් ගොඩ යනවා නම් ඒක හොඳ දෙයක්. කළු ජීවිත නිසා අපේ ජීවිතත් කෙලින් වෙයි ද?.

-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

four × 1 =