ජනාධිපතිගේ චෝදනා සමඟ එක රැයෙන් මහ බැංකුව සහය පළකරයි 

රටේ ආර්ථිකය ගොඩගැනීමට මහබැංකුවෙන් කිසිදු සහයක් නොලැබෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නිළධාරීන් සමග 16 අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී චෝදනා කළේය.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ රජයට තුනෙන් දෙකක බලයක් නොමැති නිසා මහබැංකුවට සුදුසු නිලධාරීන් පත්කරගැනීමට හැකියාවක් නොමැති බවයි.

අමාත්‍යවරයා එසේ පැවසුව ද මීට පෙර රජයේ ආයතන කිහිපයකටම ජනාධිපතිවරයාගේ මැදිහත් වීම යටතේ නිළධාරීන් පත්කර තිබිණි.

කෙසේවෙතත් ජනාධිපතිවරයා විසින් ඊයේ එල්ලකළ චෝදනාවත් සමග 16 දා රාත්‍රීයේම ක්‍රියාත්මක වූ මුදල් මණ්ඩලය රුපියල් බිලියන 115 ක මුදලක් එකවර මුදාහැරීමට මහබැංකුව තීරණය කර තිබේ . එසේම මීට පෙර 4% ක්ව පැවති ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% දක්වා පහළ දැමීමට ද මහබැංකුව තීරණය කර තිබෙනවා. මෙසේ එකවර විශාල මුදල් ප්‍රමාණයක් මුදහැරීමේ දී පිළිගත් සහ විධිමත් මූල්‍ය ක්‍රියා පටිපාටිවලින් ඉවත් වී විධිමත් නොවන ක්ෂණික ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීමට සිදුවීම නිසා රටෙහි ආර්ථිකයට අහිතකර බලපෑම් රැසක් එල්ලවීමට ඉඩ ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් අනතුරු හඟවයි.

කෙසේ නමුත් මහබැංකුව පවසන පරිදි ආර්ථිකය නඟාසිටුවීමේ රජයේ ක්‍රියාමාර්ගවලට සහාය දීමක් වශයෙන් 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 83 වන වගන්තිය යටතේ නව ණය වැඩසටහන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මුදල් මණ්ඩලය 16 රැස් වූ අතර එහිදි එම තීරණය ගෙන තිබේ.

මාර්තු මස 27 වැනිදා හඳුන්වා දුන් ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් රුපියල් බිලියන 27.5ක් ලබා දී ඇත. නව තීරණ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව එම මුදල බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සියයට 1කට සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබාදෙයි.

එම පහසුකම දේශීය ව්‍යාපාර රැසකට ලැබෙන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු එම මුදල සියයට සියයට 4ක පොලී අනුපාතිකයකට ව්‍යාපාරවලට ලබාදෙනු ඇත.

මෙම යෝජනා ක්‍රමය සහ සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රමය මඟින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා සම්පූර්ණ වශයෙන් රුපියල් බිලියන 150ක් සැපයෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

ඒ මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස බදාදා 17 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

විශේෂයෙන්ම මේ හේතුවෙන් බැංකුවල ස්ථාවරභාවය පහළ යාම සහ බැංකුවලට මුහුණ දීමට සිදුවන අවධානම ඉහළ යනු ඇති. එසේම මෙම මුදාහරින මුදල් ණය ලෙස ලබාදෙන නිසා එම ණය නැවත අයවීමට දීර්ඝ කාලයක් ගතවනවා. එම කාලය අතරතුර හදිසියේ තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීමට සිදුවුනොත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දමා තිබීම නිසා ද්‍රවශීලතා අර්බුධයක් ඇතිවනු ඇති. එසේම ජනතාව අතරට වැඩි මුදල් ප්‍රමාණයක් යාම නිසා රට තුළ උද්ධමනයක් ඇතිවිමට ද ඉඩ තිබේ. මෙහි ඇති භයානකම ප්‍රතිඵලය වන්නේ මෙවන් අවිධිමත් මූල්‍ය පද්ධතියක් මෙරට ඇති බව ප්‍රසිද්ධ වීමෙන් විදේශ රටවල් තුළ මෙරට මූල්‍ය පද්ධතිය කෙරෙහි අවිශ්වාසයක් ඇතිවීමයි.

Leave A Reply

Your email address will not be published.

four × one =