මෙරටට එන සංචාරකයින්ට අගෝස්තු 01 සිට පොදු ප්‍රවාහනය තහනම්

 

එළඹෙන අගෝස්තු 01 දා සිට විදෙස් සංචාරකයින්ට හා විදේශ රටවල සිට එන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන අතර කිසිදු විදෙස් සංචාරකයෙකුට බස් හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීම තහනම් වේ.

ශ්‍රී ලංකාව තුළට පැමිණෙන විදෙස් සංචාරකයින් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු කියා සිටියේ, සංචාරකයින් මෙරට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පිළියෙල කරන ලද විශේෂ මාර්ගෝපදේශයන් යටතේ එකී කටයුතු සිදුකෙරෙන බවයි.

“සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ක්‍රමවේද සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කර, මාර්ගෝපදේශයක් දැන් සකස් කර තිබෙනවා. ඒ මාර්ගෝපදේශ, සමස්ත කර්මාන්තයටම අපි දීලා තිබෙනවා. ඒකේදි බලන්නේ සංචාරකයෝ ගැන. නවාතැන් ගන්න තරු පංතියේ හෝටල්, හොම්ස්ටේ, හොස්ටල් ඔක්කොම අප සමඟ ලියාපදිංචි වී ඇති අයට මේ සඳහා සහතිකයක් ගන්න පුළුවන්. එනම් කොවිඩ්වලට අදාළ නියාමනයන් පිළිපදිනවා ද යන්න පිළිබඳ අපි විගණනයක් කරනවා. එය පිටු 90ක විතර ප්‍රමාණයේ මාර්ගෝපදේශ සංග්‍රහයක්. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් අපි උපදෙස් ගත්තා. මේ සඳහා අපි පිටරටවල මාර්ගෝපදේශත් අධ්‍යයනය කළා.“

මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ බස් රථ හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවන් යොදා ගැනීමට, විදෙස් සංචාරකයින්ට කිසිසේත් අවසරයක් නොමැති බවයි.

“අපි ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ කතා කළා. කලින් තිබුණු ඇවිල්ලා වීසා ගන්න ක්‍රමයක්. ඒක දැන් නතර කරලා. ඉදිරියේ දී ගුවන්තොටුපළ විවෘත කළ දවසට, යම් සංචාරකයෙකුට එන්න අවශ්‍ය නම් ඔවුන් ඔන්ලයින් වීසා අයදුම් කළ යුතු වෙනවා.”

Leave A Reply

Your email address will not be published.

5 × 1 =