අන්‍යාගමිකයන්ගේද ගෞරවයට ලක්වූ විශිෂ්ඨතම පියතුමා ඔබයි

1989/90 දි විතර ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) සිනමා හා රූපවාහිනී පාඨමාලාවට මම ශිෂ්‍යයෙක් විදියට සම්බන්ධ වූ කාලයේ ෆාදර් අර්නස්ට් පෝරුතොට යනු එම ආයතනයේ ප්‍රබලයෙක්. ඔහු අතිශය නිහතමානී සංවේදී ප්‍රසන්න චරිතයක්.

සිනමාව සහ රූපවාහිනිය ගැන ඔහු සතු දැනුම දුහුනු අප වෙත බෙදා දුන්නේ ඉතා මානුෂීය හා ළගන්න සුළු ආකාරයෙන්ය. සිනමාව පිළිබඳ ඔහු සතු පෘථුල දැනුමට සමවන්නෙකු ගැන එක්වරම සිතාගත නොහැකිය.

ඒ තරම් විශාල දැනුම් සම්භාරයක් අතැතිව සිනමාව වෙත ඉතා කැපවීමෙන් යුතුව එතුමා කටයුතු කළ බව මගේ අවංක පිළිගැනීමයි.

පසුකලෙක 1991 දී ජාතික රූපවාහිනියේ සේවයට පැමිණීමත් සමඟ ඔහුගේ ඇසුර මගෙන් ගිළිහුණත් 1994 දී පමණ මා නිෂ්පාදනය කළ ‘වවුල්පන හුණුගල’ වාර්තා වැඩසටහන නරඹා එය ආසියානු රූපවාහිනී සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කිරීමට තෝරාගත් බව සඳහන් කොට ඔහුගේම අත් අකුරින් මගේ නිවසේ ලිපිනයට තැපැල්පතක් එවා තිබූ අතර පැමිණ ඔහුව මුණගැසෙන ලෙස ඉන් මට දැනුම්දී තිබුණා.

ඔහුගේ කැපවීම මත එය එම වසරේ ආසියානු රූපවාහිනී සම්මාන උළෙලේ අවසන් වටය නියෝජනය කළා.

ඉන් පසුව අවස්ථා කිහිපයක්ම ෆාදර් පෝරුතොට හමුවූවත් මෑතකාලයේ එතුමා හමුවූ අවස්ථාවක් මගේ මතකයේ නැහැ.

කෙසේ වෙතත් අතිඋතුම් අර්නස්ට් පෝරුතොට පියතුමා සදහටම අපගෙන් සමුගෙන යන මේ මොහොත ශ්‍රී ලාංකේය සිනමා හා රූපවාහිනී කලා අධ්‍යාපනයට මෙන්ම සිනමා හා රූපවාහිනී කෘතීන් සංරක්ෂණය වෙනුවෙන් වගේම සිනමා හා රූපවාහිනී නිර්මාණ අගැයුම වෙනුවෙන් එතුමා ඉටුකළ මෙහෙවර සදානුස්මරණීය බව මෙහිලා සඳහන් කරමි.

තවද කිවයුතු සුවිශේෂම කාරණය වන්නේ එතුමා ආගමික සංහිඳියාව වෙනුවෙන් නොබියව ඉදිරිපත්වී කටයුතු කළ ආකාරයයි.
මගේ අවංක කල්පනාව නම් ‘පන්සලේ පියතුමා’ ලෙස බුහුමන් ලද ගරු මර්සලීනු ජයකොඩි පියතුමාගෙන් පසු අන්‍යාගමිකයන්ගේද ගෞරවයට ලක්වූ විශිෂ්ඨතම පියතුමා ඔහු බවයි.

ඉතින් ඔබට අවසරයි ගෞරවණීය පියතුමනි.

-කුමාර අලගියවන්න

Leave A Reply

Your email address will not be published.

fourteen + nineteen =