ඉන්දු-චීන දේශසීමාව ඇවිළෙයි. ඉන්දීය සෙබළුන් 3ක් මරුට

ඉන්දියාව හා චීනය අතර මතභේදාත්මක හිමාලයානු දේශසීමාවේදී සිදු වූ ගැටුමකින් ඉන්දියානු සෙබළුන් තිදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය හමුදාව නිවේදනය කරනවා. අවුරුදු 45කට පසු දේශසීමාවේ පළමු වරට සිදු වූ ජීවිත හානිය නිසා ලෝකයේ පියස්ස වන සීතල හිමාල කඳුකරය ගිණියම් වෙමින් පවතිනවා.
මීට සති කිහිපයකට කළින් දේශසීමාවේ රඳවා ඇති ඉන්දියානු හා චීන සෙබළුන් අතර ගුටිබැට හුවමාරුවක් හා ගල් මුල් වලින් පහර දීමක් සිදුවුණා. ඒ නිසා ඇති වූ ගැටුම්කාරී තත්ත්වය දෙරට අතර අවි ගැටුමක් දක්වා දුරදිග යා හැකි බවට අප සඳහන් කළා. අවි ගැටුම් වළක්වාලීමට අවශ්‍ය නිසා දේශසීමා ප්‍රදේශයට දෙපාර්ශයේම සෙබළුන් ආයුධ රැගෙන යෑමේ සිරිතක් මෑතක් වන තුරුම තිබී නැහැ. නමුත් ගුටිබැට හුවමාරුවෙන් පසු දෙපාර්ශවයම බටහිර හිමාලයේ අවි ආයුධ රැස් කර ඇති බව වාර්තා වෙනවා.

 මරණ සිදු වී ඇත්තේ  ගල් මුගුරු ප්‍රහාර වලින්

මරණයට පත් වී ඇත්තේ ඉන්දියානු හමුදාවේ නිලධාරියෙකු හා සොල්දාදුවන් දෙදෙනෙක්. ගැටුම තවදුරටත් වර්ධනය වීම වැළැක්වීමට දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මේ වන විට එම ස්ථානයේ රැඳී සිටිනවා. සෙබළුන් මියගියේ වෙඩි තැබීම් වලින් ද ගුටිබැට හුවමාරුවකින් ද යන්න පැහැදිලි නැහැ. නමුත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ ගල් මුගුරු ප්‍රහාර වලින් මෙම මරණ සිදු වී ඇති බවයි.

මේ අතර ගැටුමෙන් චීන සෙබළුන්ට ද හානි වී ඇති බව චීනයේ Global Times පුවත් පත වාර්තා කළත් ඒ පිළිබඳ ව වැඩි විස්තර දක්වා නැහැ.බටහිර හිමාලයේ චීන හමුදා ප්‍රධානියා කියන්නේ ඉන්දීය හමුදා දේශසීමා මායිමෙන් ඉදිරියට පැමිණ ප්‍රකෝපකාරී ප්‍රහාර දියත්කළ බවයි.

දෙදෙනාම න්‍යෂ්ටික බලවතුන්

ආසියාවේ දැවැන්තයන් දෙදෙනා වන චීනය හා ඉන්දියාව යන දෙරටම ලෝකයේ උසින්ම පිහිටා ඇති හිමාල කඳුකර භූමියට හිමිකම් කියනවා. සීතල ඉන්දු-චීන දේශසීමාව උණුසුම් කරමින් දෙරටම කලාපයේ තම හමුදා බලය තර කරමින් සිටීම ලෝකයට එතරම් හිතකර දෙයක් නෙවෙයි. විශේෂයෙන් දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍යයට නම් කොහොමත් සුභදායි නැහැ. එසේම මේ දෙදෙනාම න්‍යෂ්ටික බලවතුන් බව අප අමතක කළ යුතු නැහැ.

ඉන්දියානුවන් දේශසීමාව ඔස්සේ සිය භූමියට අනවසරයෙන් ඇතුල් වන බවට චෝදනා කරන චීනය එවැනි මැදිහත්වීම් වලින් වළකින ලෙස ඉල්ලා සිටිනවා. ඒ අතරම ඉන්දියානු දේශසීමා ආරක්ෂක භටයන් ‘සීකිම්’ ප්‍රාන්තයෙන් හිමාලය ගිරි දුර්ගය ඔස්සේ ටිබෙට් දේශයට ඇතුල් වෙන බවට ද චීන විදේශ අමාත්‍යාංශය චෝදනා කරනවා.

ඉන්දියාව පවසන්නේ චීන හමුදා භටයන් දේශසීමාව ඔස්සේ ‘සීකිම්’ ප්‍රාන්තයට ඇතුල් වී ඉන්දියානු යුද හමුදා බංකර වලට හානි සිදුකර ඇති බවයි.

සිරිමාවෝ බණ්ඩාරනායක

හිමාල කඳුකරය මැදින් වැටී ඇති ඉන්දු-චීන දේශසීමාව දිගින් කිලෝ මීටර් 3500ක්. එය ලෝකයේ සළකුණු නොකරන ලද දීර්ඝතම දේශ සීමාවයි.1962 දී ඇති වූ ඉන්දු-චීන යුද්ධය ආරම්භ වූයේ මේ දේශසීමා මායිම් සම්බන්ධයෙන්. එකල ඉන්දියානු අගමැතිවරයා වුණේ ශ්‍රි ජවහර්ලාල් නේරු.චීන අගමැති වරයා චෞ එන් ලායි. කෙසේ නමුත් මේ යුද්ධය මාසයකින් නිමාවුණා. ඒ සඳහා මූලිකත්වය ගත්තේ එවකට නොබැදි ජාතීන්ගේ නායිකාව වූ කීර්තිමත් ශ්‍රී ලාංකික අග්‍රාමාත්‍යවරිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියයි. ඇයගේ මැදිගත් වීම නොවන්නට සීතල හිමාලය ලේ විලක් වීමට ඉඩ තිබුණා.

ඉන් පසුව ද විටින් විට ඉන්දු-චීන දේශසීමා අර්බුදය මතු වුව ද විශාල ගැටුම් කාරී වාතාවරණයක් මේ දක්වා ඇති වී තිබුණේ නැහැ.කලාපයේ සාමය පවත්වා ගැනීමට ගත යුතු පියවර පිළිබඳව නරේන්ද්‍ර මෝඩි හා ෂී ජිං පිං යන නායකයන් දෙපළ පසුගිය වසරේදී නවදිල්ලියේදී හමු වී සාකච්ඡා කළා.

-ශානක ලියනගම

Leave A Reply

Your email address will not be published.

seventeen − seventeen =