හිස් පුටුව මත දිළෙන එළිය

Charles Spencelayh (1865 – 1958) විසින් අඳින ලද Empty Chair නම් මේ සිතුවම දීර්ඝ කාලීන සහවාසය අහිමිවීමේ වේදනාව හා හුදකලාවද, එක්ව විසීමේ මිනිස් හැඟුම යනු කෙතරම් දැඩිතර එකක්ද යන්න මට දැනවූ සිතුවමකි.

Charles Spencelayh අහිමිවීමේ වේදනාව හා දරාගත නොහැකි හුදකලාව ගැන බොහෝ සිතුවම් ඇඳ ඇත.
ඔහුගේ සිතුවම් රසික ජනයා අතර බ්‍රිතාන්‍ය රාජකීයයන්ද සිටි බව කියැවේ.
මෙය සාහිත්‍යයමය ගුණයෙන් අනූණ සිතුවමකි.
මෙහි හුදකලා පුටුව අපට හඟවන්නේ මෙහි සිටින මහල්ලාගේ කාලක්‍රියා කළ බිරිඳයි. ඔවුන් ඉතා ආදරණීය දිවියක් ගත කළ බව හඟවන දේ සිතුවම තුළ ඇත. එකක් බිත්තියේ එල්ලා ඇති ඔවුන් දෙදෙනා කලකට පෙර අරගත් ඡායාරූපයයි. අනෙක, පුටුවෙහි ද, මහල්ලාගේ කබායේද වන කොල පැහැයයි. ඒ පැහැය දීප්තිමත් පළා පැහැ ඉතිහාසයක ලකුණු කියයි.
ඉටි පහන, නිවී ගිය ජීවයක සළකුණක් අපට තබයි.
පින්තූරය අස්සේ තබා ඇත්තේ දුර වෙසෙන දරුවන් එවූ ලියුම් විය යුතුය.
ඇය ගතින් වෙන් වුවද තවමත් ඔහු කුටිය තුළ ගැවසෙන බව ඈ වාඩිව හුන් පුටුව මතට වැටී ඇති දීප්තිමත් එළිය තුළින් Specnelayh අපට හඟවයි.
කුරුල්ලා කූඩුගතව ඇත්තේ වුවද තවමත් පැලය මල් පුබුදුවයි.
මම මේ සිතුවමේ සාහිත්‍යයමය බසට ඇලුම් කරමි. එය මගේ ජීවිතයටද තදින් බද්ධ වී ඇති ජීවන යථාවකි.

-ජනක ඉනිමන්කඩ

Leave A Reply

Your email address will not be published.

18 + fourteen =