දේශීය සිනමාව වෙනුවෙන් අනූපම සේවයක් කළ අර්නස්ට් පෝරුතොට පියතුමා ස්වර්ගස්ථ වෙයි

1931 අගෝස්තු 31 දා පස් දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවා ලෙස මාරවිල දී පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු නමින් උන්වහන්සේ උපත ලැබීය. පියා මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළ වෘත්තීයෙන් ගුරුවරයකුවූ පී.ජේ.ප්‍රනාන්දුය.
1957 පෙබරවාරි 02දා කොටහේන ශාන්ත ආනා දෙව්මැදුරේ දී පූජකවරය ලැබූ පෝරුතොට පියතුමා කොටහේන ශාන්ත ලුසියා, පමුණුගම ශාන්ත ජුසේ,දෙහිවල ශාන්ත මරියා, දෙහියාගාත,කැළණිය,කළුතර කලමුල්ල,කෝට්ටේ,වත්තල, දෙහිවල,කඩවත කිරිමැටියාගාර මීසම් පාලක ලෙස කටයුතු කර ඇත.

ගරු මර්සිලීන් ජයකොඩි පියතුමා සිංහල ගීතය සහ කවිය වෙනුවෙන් කැපවූ සේම දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් පෝරුතොට පියතුමා කැපවිය. කතෝලික සිනමා පර්ෂදයේ ජාතික අධ්‍යක්ෂ(1972-82) සහ අන්තර් ජාතික සිනමා පර්ෂදයේ ආසියාතික උපසභාපති(1975-78) ලෙස එතුමා කටයුතු කළේය. Salutation- “උත්තමාචාර” OCIC සම්මාන උළෙල සංවිධානය කරමින් ලාංකීය සිනමාවේ දක්ශ නිර්මාණකරුවන්ට මග විවරකළේය. පාසල් දරුවන් අතර සිනමාව ප්‍රචලිත කිරීමට වැඩමුළු පැවැත්වීය. “චිත්‍රපට ගැන”, “චිත්‍රපට වාර්ෂිකය” ගැන ග්‍රන්ථ රචනා කළේය. ඇන්ඩෲ ජයමාන්න සමග Behind the Cinema වාර්තා චිත්‍රපටය නිර්මාණය කළේය.තිස්ස බාලසූරිය පියතුමා යටතේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින් නාට්‍ය කලාවේ ප්‍රවර්ධනයට කටයුතු කළේය.

පෝරුතොට පියතුමා ලේඛකයෙකි. ඔහුටම ආවේණික භාෂා ශෛලියකින් ලේඛන කලාවේ නිරතවූවෙකි. එතුමා ‘ඥානාර්ථ ප්‍රදීපය’ ට ලිපි ලියන්නේ 1949 සිට එහි ළමාපිටුවට සම්බන්ධ වෙමිනි. “ඇහුණා”, “කලාධර”, සිනමාධර”, “කොරලෙස්තිනා”, “රේඛා” එතුමා විසින් රචිත ලිපි කීපයකි.

ඉන් නොනැවතී එතුමා සමාජ ක්‍රියාධරයෙකි. 1957 දී “වෘත්තීය සමිති විප්ලවය” කෘතිය රචනා කළ එතුමා තරුණ ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරයේ(YCW) හි කොළඹ අධ්‍යක්ෂවරයා (1982-87) විය. “ගොවිතැන හා ලංකාව”, “කතෝලික සමාජ දර්ශනය” කෘතීන්හි රචකයා විය.

වෛද්‍ය නලින්ද ජයතිස්ස (fb )

ඡායාරුපය.රවින්ද්‍ර පුෂ්පකුමාර

Leave A Reply

Your email address will not be published.

4 + ten =