තරින්ද රත්වත්තේ නීති ශිෂ්‍යයා 19 දා දක්වා රිමාන්ඩ්

බම්බලපිටිය- තුම්මුල්ල ප්‍රදේශයේදී රාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු වන සිතුම් දුලීප යොමාල් අලහප්පෙරුම (93666) අනතුරට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු තරින්ද රත්වත්තේ නම් නීති ශිෂ්‍යයා මේ මස 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

තරින්ද රත්වත්තේ වන ඔහු අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්. ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමට තිබුනද සැකකාර තරින්ද රත්වත්තේ නමැති 24 හැවිරිදි මෙම නීති ශිෂ්‍යයා අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණු අතර මීළඟ නඩු වාරයේදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට දැනුම් දුන්නේය.

දැනට ඔහු දුම්බර රෝහලේ රඳවා සිටින බවද බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළ අතර සැක කරු අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.

සැකකාර තරින්ද රත්වත්තේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කලිංග ඉන්ද්‍රතිස්ස කියා සිටියේ මෙම රිය අනතුර තම සේවාදායකයා හිතා මතා සිදුකරන ලද්දක් නොවන බවත් අගතියට පත් පාර්ශවයට සාධාරණය වන්දියක් හෝ ගෙවීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

අවුරුදු 22ක් වයසැති නෙළුම්වැව – පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලීක යොමාල් අලහප්පෙරුම බම්බලපිටිය – තුම්මුල්ල ප්‍රදේශයේදී තවත් පොලිස් නිලධාරියෙකු සමඟ රාජකාරිය නිම කර යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රිය අනතුරට ලක්වූයේ පසුගිය 11 වන දා රාත්‍රියේ දීය.

තුවාල ලැබූ මොවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර, බරපතල තත්ත්වයේ පසුවූ සිතුම් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබු අතර ඊයේ (14) අලුයම 5ට පමණ මිය ගියේය.
අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය පැදවූ තරින්ද රත්වත්තේ අනතුර සිදුවන අවස්ථාවේ බීමතින් සිට ඇති බව ද අනාවරණය වී ඇත.
කොළඹ ජාතික රෝහලේ රුපියල් ලක්ෂ 77 ක මංකොල්ලය සිදු කර පලායමින් සිටි සැකකරු ලුහුබැඳ අල්ලා ගැනීමට කටයුතු කර තිබුණේ ද අදාළ කොස්තාපල්වරයා විසිනි.

Leave A Reply

Your email address will not be published.

16 − 1 =