විල්පත්තුව වැනසීම දිගටම : සැලසුම් විරෝධතා අවසන් !

ආන්දෝලනයකට තුඩු දුන් කෝමාරිකා වගා ව්‍යාපෘතිය මේ වන තෙක් නතර කර නැතැයි ද විල්පත්තු ප්‍රේරණ කලාපයට විශාල විනාශයක් කරමින් කොරෝනා කාලයේදී ද එම ව්‍යාපෘතිය මහා පරිමාණයෙන් කරගෙන ගොස් ඇතැයි ද පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසයි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ රාජාංගනය යාය 08 ගම්මානය ආසන්න ප්‍රේරණ කලා⁣පයේ ගස් කපා දමමින් දැවැන්ත පරිසරය විනාශයක් සිදුකරමින් කෝමාරිකා වගා කිරීම සඳහා පෞද්ගලික සමාගමක් විසින් එම ව්‍යාපෘතිය සිදුකරනු ලබන බවද ඔහු කියයි.

එම ප්‍රදේශයේ පවතින පුරාණ වැව් ද ප්‍රතිසංස්කරණය කර කෝමාරිකා වගාව සඳහා යෙදවීමට එම සමාගම උත්සහ කරමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

විල්පත්තුව වනෝද්‍යානය තුළ විශාල වැවක් නිර්මාණය කර එහි ජලයත් මෙම කෝමාරිකා වගාවට භාවිත කිරීමට එම සමාගම උත්සහ කර ඇතැයි ද රවීන්ද්‍ර කාරියවසම් ප්‍රකාශ කරයි.

“මේක වනසත්ව ආඥා පනතට අනුව නීතිවිරෝධී කටයුත්තක්.හේතුව ජාතික වනෝද්‍යානයක ප්‍රේරණ කලාපයක් මේ වගේ දේකට යොදාගැනීම මගින් සත්තුන්ට සහ ශාකවලට විශාල හානියක් වෙන නිසා මේක නීතිවිරෝධී දෙයක්.නමුත් ඒ නීති විරෝධී කටයුත්ත අද වන විට එනම් ජූනි මාසය වෙද්දිත් ක්‍රියාත්මක වෙනවා.මේක 2020 ජනවාරිවල මෙම නීති විරෝධී කටුයුත්ත සිදුවෙනවා කියලා එජයට පෙන්වා දුන්නා.
නමුත් ඒ ගැන කිසිදු තැකීමක් නොකර කොරෝනා කාලයේදී විවිධ කටයුතු කරලා විනාශ කරලා තියෙනවා.

අපි රටේ පරිසර ඇමතිවරයාට ජනාධිපතිවරයාට කියා සිටින්නේ මේ ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපය, පුරාණ වැව් පුරාණ ඉඩම් ඒ හින්දා මේවා ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕනේ.ජාතික වනෝද්‍යානයට මේකෙන් විශාල හානියක් වෙනවා. විල්පත්තුව කියන්නේ ලංකාවේ තියෙන විශාලම ජාතික වනෝද්‍යානය.”

“මේකේ අලිමංකඩක් තමයි මේ විදියට විනාශ කරමින් ඉන්නේ. මේකේ විශාල සත්ව ප්‍රමාණයක් ඉන්නවා.එහා පැත්තෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පරිසර විනාශයක් සිද්ධ කරනවා රජයේ අනුමැතිය අනුව. මේ පැත්තෙන් මේ සමාගම විනාශ කරනවා. මේ අනුව විල්පත්තුව හතර වටෙන් විනාශ කරනවා.දැවැන්ත විනාශයක් සිද්ධ වෙනවා කෝමාරිකා වගාවක් වෙනුවෙන් තමා මේ රටේ ජාතික වනෝද්‍යානයක් සුද්ද කරන්නේ.ඉතින් අපි රටේ නායකයන්ට අපි කියන්නේ මේ වගේ විනාශයක් සිද්ධ කරන්න ඉඩ දෙන්න එපා මේ රටේ වනාන්තර ප්‍රතිශතය එන්න එන්න අඩු වෙනවා මේ විදියට.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.”

Leave A Reply

Your email address will not be published.

fifteen + 9 =