“සාමාන්‍ය තත්වයක හමුදාවට කරන්න පුළුවන් කාරණා සීමිතයි”

මේ බව පැවසූවේ ජාතික ජන බලවේගයට සම්බන්ධ නීතිඥයින් පිරිසකගෙ සහභාගිත්වයෙන් බත්තරමුල්ල අවකාශ මධ්‍යස්ථානයේදී අද (14) පැවති මාධ්‍ය හමුව අමතමින් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක, නීතිඥ චරිත් ගල්හේන මේ බව පැවසිය.

“අපේ මේ හමුව පහුගිය දවස්වල වාර්තා වුණු මළ මිණී කර තියාගෙන යන්න නෙවෙයි. ඒ දේශපාලනය අපේ න්‍යාය පත්‍රය නෙවෙයි කියන එක අවධාරණය කරනවා. 1994 ඉඳලා මේ දක්වා බලයට පත්වුණු කිසිම ආණ්ඩුවක් මළමිනී කරතියාගෙන ගිහින් සාධාරණයක් ඉෂ්ඨකර නැහැ. අපි උත්සාහ කරන්නේ මේ සිද්ධිදාමය විසින් මතු කරන සමාජයීය අර්බුදය සාකච්ඡා කරන්න.”

“රටේ සමස්ත ආර්ථිකය මාස 3ක පමණ කාලයක් වැහිලා තියෙනකොට ඇතිවන ප්‍රශ්න ගැන පුරෝකථනය කළ යුතු සහ පුරෝකථනය කළ හැකියි. නමුත් පුරෝකථනය කළ හැකි දේවල් පවා පුරෝකථනය නොකිරීම නිසා ඇතිවන බරපතළ ප්‍රශ්න අපි දැන් දකිනවා. රජයක මූලික වගකීම පැහැර හැරලා. රට වහලා තිබෙන කාලයේදී හමුදාව යොදවලා රට ගෙනියන්න පුළුවන් වගේ මතයක් සමාජ මාධ්‍ය ජාලා හරහා හදලා තිබුණා. රට සාමාන්‍ය තත්වයට පත්වෙමින් තිබෙන අවස්ථාවක හමුදාවට කරන්න පුළුවන් කාරණා සීමිතයි. නිරෝධායන පනත යටතේ අතිවිශාල බලතල ප්‍රමාණයක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පැවරී තිබෙනවා. රට වහලා තිබුණු කාලය ඇතුළතදී ඊට අදාළ ආයතන විසින් විශාල කාර්යභාරයක් ඉටු කළා. නමුත් රට තිබෙන්නේ පුළුල් පරාසයක තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කළ යුතු වටපිටාවක. ලීසිං පහසුකම් ගත්ත මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනවා කියන එක, ලීසිං සමාගම්වලට ලීසිං වාරික අහිමි වෙනවා කියන එක ආණ්ඩුවට පුරෝකථනය කළ හැකියි. ඇඳිරි නීිතිය යටතේ අත් අඩංගුවට ගන්නේ ලීසිං වාරික ගෙවමින් තිබෙන වාහන බව ආණ්ඩුව පුරෝකථනය කළ යුතුයි. වාහනයෙන් උපයන ආදායම මත ලීසිං වාරික ගෙවන මිනිස්සුන්ගේ ජීවිත ගැන ආණ්ඩුව පුරෝකථනය කළ යුතුයි. 225ම එපා කියලා පහුගිය කාලයේ මිනිස්සු කීවාට රටේ පාර්ලිමේන්තුවක් තියෙන්න ඕනෑ මේ වගේ තත්වයන්ට මුහුණ දෙන්න.”

“රටේ විවිධ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ගේ ප්‍රශ්න, විවිධ වෘත්තීන්වල නියැලී ඉන්න අයගේ ප්‍රශ්න එකිනෙකාගෙන් වෙනස්. ඒ හැමෝම නියෝජනය කරන්නයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ගැසට් නිවේදනයක් නිකුත් කරලා මේ සියලුම ප්‍රශ්න එක් මනුස්සයෙකුට විසඳන්න බැහැ කියන එක සමාජය තේරුම් ගන්න ඕනෑ. මළමිනී විකුණමින් රට පාලනය කරන්න බැහැ කියන සාකච්ඡාව ඇතිවෙන්න ඕනෑ. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන අවස්ථාවකදී පවා හදිසි තත්වයක් තුළ පාර්ලිමේන්තුව රැස්කිරීමේ බලයත් ජනාධිපතිවරයාට තියෙන බව ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් පහුගිය කාලයේ අවධාරණය කළා. හදිසි තත්වය වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය කරන්න යළි පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන්. එහෙනම් ජනාධිපතිවරයා කරන්න තිබුණේ රට විවෘත කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවා හෝ අධිකරණයේ මතය විමසලා රටට අවශ්‍ය නීති හදාගන්න එකයි. ලිසිං ප්‍රශ්න වෙනුවෙන්, බැංකු ණය වගේ ප්‍රශ්න වෙනුවෙන් වගේම ජනතාවගේ අනෙක් ප්‍රශ්න වෙනුවෙන් උත්තර හොයන්න නීති හදාගන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට දේශපාලන කර්තව්‍යයක් කරන්න තියෙනවා. ඒ කර්තව්‍යය හමුදාව හෝ පොලීසිය හෝ තමන් නියෝජනය කරන පොදු ජන පෙරමුණ නියෝජනය කිරීම නෙවෙයි රටේ සමස්ත ජනතාව නියෝජනය කිරීමයි.”

“අවුරුදු 5කට බලයදී තිබෙන ජනාධිපතිවරයාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ශක්තිමත් පාර්ලිමේන්තුවක් කියන්නේ 2/3වත්, 5/6ක්වත් ලබාගැනීම නෙවෙයි. 5/6ක පාර්ලිමේන්තුව තමයි මේ රටේ උතුරේ යුද්ධය ඇතුලු සියලුම සිවිල් යුද්ධයන් නිර්මාණය කළේ. ඒ වගේම ඉන්දියාව ඇතුලු විදේශීය රාජ්‍යයන්ට මෙරටට අත තැබීමේ බලය නිර්මාණය කළෙත් ඒ පාර්ලිමේන්තුව. අපි යෝජනා කරන්නේ ඒ වැනි ශක්තිමත් පාර්ලිමේන්තුවක් නෙවෙයි. ජනතාවගේ මතය ශක්තිමත්ව සාකච්ඡා කිරීමේ පාර්ලිමේන්තුවක්. පොලීසිය තමන්ගේ බලය ඉක්මවා ගිහිල්ලා කටයුතු කරන අවස්ථාවක ප්‍රශ්න කිරීමේ බලයත් ඕනෑම සාමාන්‍ය මිනිසෙකුටත් තිබෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරලා ජනතාවගේ අයිතීන් රකින්න කටයුතු කරනවා.”

Leave A Reply

Your email address will not be published.

15 − three =