දෙවන කළු ජාතික තරුණයාත් ඝාතනය වෙයි- ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා අස්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අද පෙරවරුවේ අහිමි විය.

කෙසේ නමුත් මෙම වෙඩි තැබීමට අදාළ විඩියෝ පට ප්‍රසිද්ධියට පත්වීමත් ඒ සමඟ එල්ල වූ දැඩි මහජන විරෝධයත් නිසා ඇට්ලන්ටා පොලිස් ප්‍රධානිය එරික් ෂීල්ඩ්ස් සිය තනතුරෙන් ඉල්ලා අස් විය. සිය ඉල්ලා අස්වීම නගරාධිපති ක්‍රිෂා ලාන්ස් බටන්ස්ට බාර බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමේ සිදුවීමට අදාළ පොලිස් නිලධාරියා සේවයෙන් ඉවත් කර ඇති බව ඇට්ලන්ටා පොලිස් දෙපාර්තමේන්තුව අද (14) නිවේදනය කළේය.

27 හැවිරිදි රෙෂාඩ් බෲක්ස් නම් අප්‍රිකානු-ඇමෙරිකානු සම්භවයක් සහිත කළු ජාතික තරුණයෙක් මෙසේ පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ පසුගිය සිකුරාදා රාත්‍රියේදී ය.

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්වීමෙන් මැයි 25 වැනිදා මරණයට පත්වූ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් මේ වනවිට තෙවැනි සතියටත් ඇමෙරිකාවේ නගර සිය ගණනක විරෝධතා පැවැත්වෙයි. පොලිස් ප්‍රතිසංස්කරණ කරන්නැයි ඉල්ලමින් සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් පැවැත්වෙන මෙම විරෝධතා මේ වනවිට ලොව ප්‍රධාන නගර රැසකට ව්‍යාප්ත වී ඇත.

රෙෂාඩ් බෲක්ස් සිය මෝටර් රථයෙන් ආපනශාලාව කට ගොස් ඇති අතර පසුව එයට පිවිසෙන මාර්ගය අවහිර වන සේ ඔහුට සිය මෝටර් රථය තුළම නින්ද ගොස් ඇත. එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පැමිණ රිය තුළ පරීක්ෂා කර ඇති අතර රෙෂාඩ් බෲක්ස් මත්පැන් පානය කර සිටි බවත් ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවත් ඇට්ලන්ටා පොලිසිය සඳහන් කරයි.

පොලිස් නිලධාරීන් දෙදෙනා සහ රෙෂාඩ් බෲක්ස් අතර ගැටුමක් ඇති වී තිබේ. එක් විඩියෝ පටයක දැක්වෙන පරිදි රෙෂාඩ් බෲක්ස් පොලිස් නිලධාරීන් දෙදෙනා සමඟ කලහකර ඇති අතර රෙෂාඩ් බෲක්ස් බිම වැටී සිටියි. රෙෂාඩ් බෲක්ස් පොලිස් නිලධාරියකුගේ ආරක්ෂිත උපකරණයක් පැහැරගෙන පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ග්‍රහණයෙන් මිදී දිව යන අයුරු තවත් විඩියෝ පටයක දැක්වේ.

රෙෂාඩ් බෲක්ස් රෝහල් ගත කළ බවත් පසුව මියගිය බවත් වාර්තා විය. එක් පොලිස් නිලධාරියකුට ද තුවාල සිදු වී ඇති අතර ඔහු ප්‍රතිකාර ලබා පිටව ගියේය. මේ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් ද ආරම්භ කර ඇත.
මෙම වෙඩි තැබීමේ සිදුවීමත් සමඟ ඇට්ලැන්ටා නුවර ද විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

17 + ten =