“ඇත්තෙන්ම පාට වැදගත් නැහැ”

මාටින් ලුතර් කිං වරක් මෙහෙම පවසනවා “ඇත්තෙන්ම අපි සටන් කරන්න ඕනා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් නෙමේ, මානව අයිතිවාසිකම් සඳහායි. ඔබ මනුෂ්‍යයෙක් වශයෙන් පිළිගනු ලැබ තිබේනම් , ඔබට සිවිල් අයිතිවාසිකම් තිබෙන්නට ඕනා. ඇත්තෙන්ම ඔබ මෙන්ම අපත් එය දන්නවා. එහෙත් ආරම්භයේ සිටම මේක වර්ගවාදී රටක්. අපව මිනිසුන් වශයෙන් පිළිගන්නේ නැහැ. “ඇත්තෙන්ම පාට වැදගත් නැහැ” එහෙත් ඔබ දොරෙන් ඇතුළුවන විටත් ඔවුන් මොකක් දිහාද බලන්නේ ? අන් සියල්ලටම වඩා ඔබේ පාට දිහා.

ඔවුන් අවුරුදු පනහක් හැටක් වයසැති කළු මිනිහෙක් ගැන සලකන්නේ නැතිව ඔහුට හිත රිදෙන විදියට “බෝයි” කියල කතාකරනවා. මාටින් ලුතර් කිං ගේ මේ සටහන මා සඳහන් කලේ කාරණා දෙකක් මතු කිරීමටයි. එකක් අළු යට සැඟවී තිබෙන ලක්ෂ සංඛ්‍යාත කළු ජාතිකයින්ගේ ඓතිහාසික වේදනාත්මක ඉරණම අංශුමාත්‍රයකින් වත් වෙනස් වී නොමැති බව අද වර්තමානයේ එය ඇදහිය නොහැකි ලෙස ගිනිදළු මෙන් ඇවිලෙමින් තිබෙන නිසා සහ මීට අවුරුද්දකට පමණ ඉහතදී බොරැල්ල තීර්ථ කලා පාසල් භූමියේදී වර්ණභේදයේ ඇති නිශේධනාත්මක පැතිකඩ ප්‍රතිජනනාත්මක ලෙස ඉදිරිපත් කල අභිවාහ්ය කලාත්මක ප්‍රකාශනයක් PERFORMANCE ART ගැන කීමටයි. මේ ප්‍රකාශනය ඉදිරිපත් කලේ නර්තන ශිල්පිනියක්, සමාජ ක්‍රියාකාරීනියක් , සමාජවිද්‍යා පරීක්ෂිකාවක් , කථිකාචාර්ය වරියක් හා අභිවාහ්ය රංගන ශිල්පිනියක් වන අපේ හිතවත් ලක්නි කුමාරසිරි LAKNI KUMARASIRI සහෝදරී සහ ප්‍රසිද්ධ අභිවාහ්ය කලාශිල්පනියක් PERFORMANCE ARTIST වන ග්‍රීක ජාතික ෆේනියා කොට්සෝපොලන් FENIA KOTSOPOULON කියන ශිල්පිනියන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා මේ කලාත්මක ප්‍රකාශනය සඳහා භාවිතා කර තිබුනේ කළු, සුදු හා කහ වර්ණයෙන් යුත් ඉතාමත් දිග සිල්ක් රෙදි ප්‍රමානයක්ය. ඔවුන්ගේ කලාත්මක කාර්ය වුනේ කහ වර්ණ රෙදිකඩ දිගට බිම අතුරා, එකට යා කරන ලද සුදු සහ කළු රෙදි කඩයෙහි දෙපැත්තේ සිට දෙදෙනාම තම ශරීරයෙහි වෙලාගනිමින් එකට යා වීමයි. අවසානයේදී දෙදෙනාම බිම අතුරා ඇති කහ රෙදිකඩ මත වැතිරී , එම කහ රෙදිකඩ ද ඔවුන් දෙදෙනාම වෙලාගනිමින් තමන්ගේ ආත්මීයභාවයන් එකාත්මීය කරගැනීමයි.මෙම කලාත්මක ප්‍රකාශනය අපට සමාජ, දේශපාලන හා මානුෂිකත්වය HUMANITY කියන බොහෝ දේ හැගවෙන අතර, අද ලෝකය පුරාවටම පැතිරී යන වර්ගවාදී ගැටළුව දෙස හා නුතනයේ මිනිසුන් වන අප, ගෝත්‍රවාදී මානසික ආකල්පයන් ආදරය “තුරුලට” රැගෙන එන්නේ කොයි ආකාරයෙන්ද කියන හැඟවුම මේ හරහා දෘශ්‍යමාන වෙයි. අභිවාහ්ය කලාව අපේ රටට ටිකක් ආගන්තුක කලා ප්‍රකාශනයක් වුවත්, මෙම කලා භාවිතය දෙවැනි ලෝක යුද්ධෙන් පසුව මිනිසුන් අතරට ගිය ප්‍රභලම කලාභාවිතයකි. තම ආත්මීය භාවයන් ස්ව-සවිඥානය සමග SELF-CONSCIOUSNESS කාලයේ සහ අවකාශයේ ඇති ස්ව-සත්‍යයභාවයන් සංදර්ශක ප්‍රත්‍යක්ෂයන් REPRESENTATIONISM ලෙස ඉදිරිපත්කරන දේශපාලනික කලාත්මක ප්‍රකාශනයකි.අප දන්නා ආකාරයට වර්ණ එහෙමත් නැතිනම් පාට කියන්නේ මේ විශ්වයේ ඇති විද්‍යුත් චුම්බක තරංග හරහා පෘතුවියට සම්ප්‍රේක්ෂණය වෙන ශක්ති ආයාමයක් වන අතර , එය ඇසේ දෘෂ්ටිපථයට පමණක්ම සීමා වුවක්ද නොව, එය සොබාදහමේ ඇති වර්ණ සංකීර්ණය මිනිසාගේ මනසටද බලපෑම් කරන බව අනාවරණයවී ඇත. මේ අනුව වර්ණ අපේ ජීවිතේ ඇති විවිධාකාර හැගීම්වලට ද සෘජුවම බලපා ඇති බව අපි දන්නවා. උදාහරණයක්‍ හැටියට නිල් වර්ණය සතුට, තෘප්තිය, හා සිතේ සාමය ඇතිකරන අතර, කොළ හා රතු වර්ණ ශක්තිය , ධෛර්ය හා කෙනෙකුගේ පිරිසුදු බව කියාපාන වර්ණ ලෙස සලකනවා. කහ වර්ණයෙන් සංඛේතවත් වන්නේ මිනිසුන් තම අනාගතය ගැන සුභ සිහින දැකීම හා , කෙනෙකුගේ විජයග්‍රහණය ගැන කියාපාන නවීනත්වයේ හැඟවුමක් ලෙස කහ වර්ණය භාවිතා කරයි. වර්ණ හා වර්ණ හැඩතල ගැන විද්‍යාත්මකව යම්, යම් පරීක්ෂණයන් කලත්, මේ සම්බන්ධව ඇති සත්‍යය අසත්‍යය ගැන අපි වෙනමම කතා කල යුතු මාතෘකාවක්.

විද්‍යාත්මක නියමයන්ට අනුව අපි දන්නවා මූලික වර්ණයන් වන රතු කොළ හා නිල් යන වර්ණ සංයෝජනය ශක්ති ජනනය වීමෙන් සුදු ආලෝකය ලෙස අපට දෘශ්‍යමාන වෙන බව සහ මිනිස් ඇසේ දෘෂ්ටිවිතානය මත ඇති ඛේතු හා යෂ්ටි සෛලවල ආලෝකය පතිත වීම නිසා ඇතිවන විවිධාකාර විද්‍යුත් වෙනස්කම්වලට අනුව මොළය මගින් වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නවා කියල. ඒත් විද්‍යාත්මක සාධක මෙසේ තිබියදීත් වර්ණ අපේ මානසිකත්වය හා සමාජ දේශපාලන කාරණාවන්ට බලපා ඇති ඓතිහාසික පසුබිම ඉතාමත් දීර්ග ඉතිහාසයක් තියනවා. අප දැන් ජීවත් වන්නේ ප්‍රබන්ධයක් වූ ඉතිහාසයක් තුල යතාර්ථය යටපත්වී ගිය ලෝකයකය. ලක්නි හා ෆේනියා තම කලාත්මක රංග ප්‍රකාශනය හරහා අපට යලි ඉස්මතු කරන්න උත්සාහ කරන්නේ මිනිස්කමට වැටී ඇති මේ අඳුරු සෙවනැල්ල යටින් ඇති මිනිස්කම උඩට ගනේමයි. මේ ධනේශ්වර අර්ථක්‍රමය විසින් ප්‍රභලතම මතවාදය IDEOLOGY වූයේ ලිබරල්වාදී වෙළඳපොළ සඳහා මානව අයිතිවාසිකම් අතහැර දැමිය යුතු බවයි, මේ ධනවාදී ආධිපත්‍යයට ප්‍රතිපක්ෂව වෙනත් විකල්ප කලාත්මක ප්‍රකාශනයන් ඉල්ලා සිටින කාලෙක මෙවැනි කලාත්මක රංග ප්‍රකාශනයන් ගැන අප වඩ වඩාත් කතා කල යුතු වෙමු. රැඩිකල් සමාජ වෙනසක් වෙනුවෙන්, රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී මෙවැනි කලාත්මක භාවිතයන් තව තවත් නිර්මාණය විය යුතු අතර, ඒ වෙනුවෙන් නව න්‍යායික සුත්‍රගත වීම ද අවශ්‍යව ඇත. මේ සඳහා සමාජීයව සාමූහිකව දේශපාලනික යාතුකර්මයක් අවශ්‍යව ඇත. COLLECTIVE POLITICAL RITUALS. එමගින් කේන්ද්‍රීය මතවාදය තුල ඇති ස්වාමීත්වය බිඳ හෙලා දැමීමට කලාත්මක හා දේශපාලනික අවකාශයක් නිර්මාණයක් කරගත හැකිවනු ඇත. එවිට මාටින් ලුතර් කිං ගේ සටන් පාටය යතාර්ථයක් වනු ඇත.
“ඇත්තටම පාට වැදගත් නැහැ”

-සාලිය ඉඳුරුවිතාන

Leave A Reply

Your email address will not be published.

four × five =