සුනිල්ගෙ මිනීමරුවන් එල්ලලා මරයි, අවුල මේ තියන අද්භූත නිහැඬියාව

සුනිල් ජයවර්ධන මැරෙන්නෙ පෞද්ගලික උවමනාවක් වෙනුවෙන් නෙමෙයි. වෙනත් මනුස්සයෙක් වෙනුවෙන් කතා කරලා. ඒක හොඳ හෝ නරක කතාවක් නෙමෙයි. නමුත් පොදුවෙ මිනිස්සු බහුතරයක් මුහුණ දෙන ප්‍රශ්ණයක් වෙනුවෙන් ඔහු පෙනී ඉන්නවා. ඒක අපිට කරන්න අමාරු වැඩක්. අඩු තරමේ ප්‍රශ්නෙට මුහුණ දුන්න මනුස්සයෙක්ට තමන් වෙනුවෙන්වත් පෙනී ඉන්න බැරි වෙද්දි ඔහු ඒ හැමෝම වෙනුවෙන් කතා කරනවා.

අන්තිමේදි, තමන්ගෙ පෞද්ගලික ප්‍රශ්න, දරු පවුලෙ ප්‍රශ්න සියල්ලම පැත්තකින් තියලා සුනිල්ට වෙනත් ප්‍රශ්ණයක් වෙනුවෙන් කතා කිරීම හින්දා මැරෙන්න සිද්ද වෙනවා.

සුනිල්ගෙ මිනීමරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙයි. සමහරවිට එල්ලලා මරයි. ඒක නෙමෙයි මෙතන ගැටළුව.

මෙතන තියන අවුල මේ තියන අද්භූත නිහැඬියාව.

කවුරුත් ඒ ගැන කතා කරන්නෙ නෑ. අපි හැමෝම අපි හැමෝගෙම වැඩ. මමත් මේ කරන්නෙ නිකන් හම්බුන ස්පේස් එකක මොනවා හරි කුරුටු ගාන එක. එතනින් එහාට මුකුත් වෙන්නෙ නෑ.

හෙට සුනිල්ගෙ අවසන් කටයුතු. ඔහුව භූමදානය කරයි. නැත්තං පුච්චයි. ප්‍රවෘත්ති වල පෙන්නයි. එතනින් සියල්ල ඉවරයි.

වැඩිම වුනොත් ලීසිං ප්‍රශ්නෙට රජය විසඳුමක් දෙයි.

හැබැයි මෙතන අවුල ලීසිං ප්‍රස්නෙවත්, පාර මැද්දෙ මහ දවල් ජනාධිපතිතුමාගෙ ගෙවල් ළඟ මනුස්සයෙක්ව මරණ එකවත් නෙමෙයි. ඔය වගෙ දේවල් හැමදාම වුණා. මෙතන තියන ප්‍රශ්නෙ මේ අද්භූත නිහැඬියාව.

අපි සමාජශීලි සත්වයො. හැබැයි මගේ නොවන මගේ ආදරයක් වගේ, සමාජයක් නොවන සමාජයක්. අපි අපි වෙනුවෙන් කතා කරන්නෙ නෑ.

මේ අද්භූත නිහැඬියාවට අපි බයවෙන්න ඕනෙ. අපි කාව මැරුවත් අපි නිස්සද්දයි. ඒත් ඒක අපි දන්නෙ නෑ. අඩු තරමෙ ඔහොම මැරෙන්න පුලුවන් කියලවත් අපි දන්නෙ නෑ.. අපිට තේරෙන්නෑ..

අව්ලක් නෑ. රාවණා නැගිටලා මේවා විසඳයි. එතකන් ඉමු.
මැරෙන එකෙක් මැරිච්චාවෙ.

-චමල් අකලංක පොල්වත්තගේ

Leave A Reply

Your email address will not be published.

15 − 1 =