ලසන්ත ඝාතනයට සම්බන්ධ මේජර් බුලත්වත්ත හමුදාපති අණින් යළි සක්‍රිය සේවයට !

50

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති හමුදා කණ්ඩායමට නායකත්වය දුන් මේජර් ප්‍රභාත් බුලත්වත්ත නොහොත් බුලත්වත්තේ වලව්වේ දිසානායක මුදියන්සේ රාලහාමිගේ ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්තගේ යන නිලධාරියාව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා විසින් යළි සක්‍රිය හමුදා සේවයට පත්කර තිබේ.

මරදාන ට්‍රිපොලි යුධ හමුදා බුද්ධි අංශ අනුඛණ්ඩයට සම්බන්ධ මේජර් බුලත්වත්ත යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමට ද නේශන් පුවත්පතේ කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසනයට ලක් කිරීම ඇතුළු සිද්ධි ගණනාවක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇත.

කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මේජර් බුලත්වත්ත දැනට ඇප මත නිදහස්ව සිටී. අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනුනු වහාම ඕනෑම රජයේ සේවකයකු වැඩ තහනමට ලක්වෙයි. ඔහුට යළි සේවයට පැමිණිය හැකි වන්නේ අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වුවහොත් පමණි.

ඒ අනුව හමුදාපති මහේෂ් සේනානායක මහතා ඉතාම පැහැදිලිව සචේතනිකව රාජ්‍ය සේවයේ පත්වීම් පටිපාටිය උල්ලංඝනය කර තිබේ.

එසේම, මෙම බුලත්වත්ත සේවයෙහි පිහිටුවීම හරහා ලසන්ත ඝාතනය ඇතුළු දැනට ක්‍රියාත්මක විමර්ශන ගණනාවකට බරපතළ බලපෑමක් එල්ල වනු නිසැකය. කීත් නොයාර් පැහැරගෙන යාම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම ඇතුළු හමුදාව සම්බන්ධ අපරාධ ගණනාවකම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්පූර්ණ කරගැනීමට මෙතෙක් නොහැකි වූයේ ද හමුදාපති මහේෂ් සේනානායක ඊට අදාළ සහයෝගය නොදුන් නිසාය, බාධා පැමිණවූ නිසාය.

Previous articleබෝම්බ ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් දේශපාලකයින් අතින් වන්දි ගැනීම ප්‍රතික්ෂේප කරයි !
Next articleකාබුල් නුවරදී මහදවල් වෙඩි තබා මරා දැමූ මීනා මන්ගල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here